Wednesday, September 21, 2011

සුභ පැතුමක්.......

   අද උදේ ආව කෝල් එකක් හින්දා එක පාරටම ආව හැඟීම නම් අතරමං වුනා වගේ දැනුන එක මම හිතන්නේ.  
         
   ෆෝන් එකේ එහා පැත්තේ හිටියේ එක්තරා කාලයක මටත් වඩා මම ගැන හිතපු කෙනෙක්. ඒත් මොන හේතුවකටද මන්දා මට කවමදාවත් එහෙම හිතුනේ නෑ කියලා තමයි මට අදටත් හිතෙන්නේ. ඒකෙන් කියන්නේ මට මේ කියන කෙනා ගැන කිසිම හැඟීමක් තිබ්බේ නෑ කියන එක නම් නෙමෙයි. මොන හේතුවකටද මන්දා මම ආදරයම නොවුනත්  බැඳීමක් තිබුනා. ඒත් ඒක අස්සේ මේ කියන කෙනාව මගේ කර ගන්න වගේ දෙයක් මට දැනුනේ නෑ කවදාවත්. සමහරවිට මම නොහිතපු විදිහට මේ කියන කෙනා මගේ ළඟ හිටපු නිසා වෙන්න ඕනේ. යාළුවෝ විදියට කාලයක් දැන හඳුනගෙන හිටපු අපි එක්තරා කාලයකදි ඉන් එහාට ගියා. මේ කිසිම දෙයක් තේරුමක් ඇතිව නොවූ දේවල් කියලායි මට හැමදාම හිතුනේ. කොටින්ම අපි එකම ගෙදර ජීවත් වුනත් ඔහු මගේමයි කියලා මට කවමදාවත් හිතිලා තිබ්බේ නෑ. ඒත් ප්‍රශ්න නැතිව සතුටින් ජීවත් වුන බවක් තමයි මට හිතෙන්නේ .

  පස්සේ කාලයක  අපි ඈත් වුනා. සමහර විට කිසිම කෙනෙක් මඟේ ළඟ බැගෑපත් නොවූ ලෙස ඔහු මගෙන් ඈත් වෙන්න බෑ කියද්දි මට  ඔහු ගැන අනුකම්පාවක්වත් දැනුනේ නෑ වෙන්න ඕනේ. ඒවෙලේ මට ඕන වුනේ ඒ බැඳීම් වලින් ඈත් වෙලා මගේ ලෝකේ හොයාගෙන යන්න. සමහරවිට ඒ වෙද්දි අපි වෙන් විය යුතුයි කියන තැනම මම හිටියා. ඒක එක්තරා තීරණාත්මක අවශ්තාවක් කීවොත් මම හිතන්නේ මම හරි. කාගෙවත් හිත් රිදවන්න උවමනා නොවුනාට එහෙම නොවී ඉස්සරහට යන්න අපිට බැරි උනා. කොහොම හරි අපි වෙන් උනා.
    ඉන් එහාට කවදාවත් මගේ යාළුවෙක් වෙන්න ඔහුට බැරි වුනා. මුල් කාලේ ඔහු නිතරම මට කතා කලා. සමහරවෙලාවට උත්තර දෙන්න පුළුවන්කමක්වත් නොවුනට මට ඒ වෙද්දිත් ඔහු ගැන යම්කිසි ප්‍රමාණයක් දුකක් අනුකම්පාවක් මම ගැනම ලැජ්ජාවක් වගේ දෙයක් මගේ හිතේ තිබුනා. මොන දේ උනත් මම ඔහුගේ ආදරය එක්ක සෙල්ලම් කල බවක් මට හිතුනේ. ඒ වරදින් අදටත් මට ගැලවෙන්න බෑ. ඒත් මොන හේතුවකට හරි ඒක ගැන මම අදටත් දුක් වෙන්නේ නෑ. මම හිතන්නේ ඒ අපි කවදාවත් නොගැලපුණු දෙන්නෙක් වූ නිසා වෙන්න ඕනේ.
    පස්සේ කාලෙක නත්තලට පාස්කුවට අලුත් අවුරුද්දට සුභ පැතුම් වලට එකිනෙකා හෙව්වත් අපි අතර තිබූ සීතල බව එක්ක කවදාවත් වචනයකින් දෙකකින් එහාට කතා කරන්න බැරි උනා. ඒත් අපි දෙන්නම දන්න කියන යාළුවෝ හිටි නිසා අනෙකා ගැන විස්තර නොදැන හිටියා කියන්න නම් බෑ. පස්සේ කාලෙක ඔහු මට කතා කලේ මම අවුල්ම වෙලා හිටි වෙලාවක. ඇත්තෙන්ම ඒ දවස්වල මට කාත් එක්කවත් කතා කරන්න උවමනාවක්වත් තිබ්බද කියලා මට හිතෙන්නේ නෑ. වසර හයකට පස්සෙ එක පාරට කෙනෙක් කතා කරලා මම දැන් විවාහ වුනා කීවම හිතට එන්නේ මොන හැඟීමද කියන්න හරියටම මට තේරෙන්නේ නෑ. කොහොමත් මට ඔය වගේ බැඳීම් සම්බන්ධතා වගේ දේවල් එක්ක දුරට හිතන්න මම දැන් කැමතිත් නෑ. ඒත් එක පාරට අර ගල් වෙලා තිබුන අපේ යාළුකම් නම් ආයේ අලුත් වෙලා කියලා මට දැනුනා. ඒක ගැන අවංකවම මට සතුටු වෙන්න පුළුවන්. කොහොම වුනත් හිතලා මම වරදක් කලේ නෑ කලින් වුනත් ඒ දේවල් ඒ කාලේ එහෙම වුනා විතරයි මට හිතෙන්නේ.

    
     මට ආදරේ දෙන්න බැරි වුනාට යාළුවෙක් විදියට ඔයාගේ අඩුව මේතාක්ම දැනුනා. ඉස්සරහට නිතර අපි හමු නොවුනත් අඩුම තරමින් මගේ හිතේ නිදහසින් හරි ඔයා ගැන යාළුවෙක් වගේ හිතන්න මට දැන් පුළුවන්. ජීවිතේ අවුල් කලාට සමාව ඉල්ලන්න මට බැරිකමකුත් නෑ.

     එහෙනම්
       සුභ අනාගතයක්

     

   ( ප/ලි.
කවදාවත් මගේ වචන වලින් මම කියන එකකුත් නෑ මේ දේවල්. මම මෙහෙම හරි මේ දේවල් ලියන්න ඇත්තේ මේ දේවල් කවදාවත් කවුරුත්ම නොතේරුම් ගන්න හින්දා විතරක්මත් මට නිදහස් වෙන්නත් විතරක්ම වෙන්න ඕනේ. )

No comments: