Friday, October 23, 2015

life in short

මේ දවස් වල
උදේට green tea
ඔව් හදවත බර වැඩියිලු...
දොස්තර තමයි කියන්නේ
හිත හෙල්ලෙන තරමට xanax
බිංන්දු ගණන අඩු වැඩි කර කර
ඒවා හරි භයානකයිලු බුරු බබෝ...
ආයේ කැම වෙලාවට කෝ කන්න මට වෙලාවක්
එහෙන් clientලා 
මෙහෙන් ආදරේ කරන ප්‍රේමවන්තයෝ 
ඒ අය එහෙන් මෙහෙන් එබිලා මගේ ජීවිතේ අවුල් කරනකොට එකින් එක කෝෆි වැඩි වෙනවා....
දොස්තර කිව්වට හිත අහයිද කෝපි ඕනෙවට වඩා ඕනෙම නෑ කියලා....
ආයෙ හවසට හීනෙන් වගේ කකුල්,
බීම හල් සොඳුරු කතා එක්ක 
මල් වලට පැණි වගේ 
වයින් වලට එකක් දෙකක් ගණන් නොකරන තරමට
මගේ ජීවිතේ දියවෙනකොට.... 
හැමොම ඔයාට පිස්සුද කෝ අර බුද්දිමත් රංගි කියලා අහද්දි 
මට උත්තර නැති වෙනවා....
ආයේ ප්‍රේමවන්තයන්ගේ ලෙන්ගතුකම් අස්සේ ඒ ආදරේ මම නොසොයන හින්දාමද කොහෙද 
මට නොලැබෙන ආදරවන්තයෝ පස්සෙන් යනවා...
ඔව් අපිට ආදරෙ කරන උන්ට අපි ආදරේ නෑ.. 
උන් අපි ළඟ වැන්ද වැටුනත් අපිට අගයක් නැ
ඒක තමයි ආදරේ....
සමහර වෙලාවට ඇඳේ එහා පැත්තේ
කවුද කියන්නවත් මතක නැති වෙන තරමට සිහි විකල් වුනාම මම ආදරෙයි කියනවා....
ඒත් ජීවිතේ කියන්නේ මේකද? 
මේ තරම් නම් මම බිම වැටුනේ කොහොමද?
ලැජ්ජයි බුරු බබෝ... කවුරුත් ඒක කියන්න කලින් මටම ලැජ්ජයි 
මේ තරම් මෝඩද මම?
හීනි හීනි මල් පාට හීන වලට 
මත් වෙලා වැලපිලා මාව දිය කරන්න පුළුවන් කියලා නම් මම දැන් දන්නවා...
අනේ බොහොම පිං ඒකවත් ඉතිරි කරාට ....

Wednesday, October 21, 2015

stressed..... i should release somewhere my self......

 
       මෙන්න ආයෙත් මම. ඔව් මම ඉන්නේ ලොකු තරහකින්. මම ගැනම. කවදාවත් මම මගෙන් එහාට දේවල් ගෙනියන්නේ නෑ. ඒක දිහා පිටින් බලන කෙනෙක් හිනා වුනාට මට කියන්න තියෙන්නේ ඒ මම මිසක් බලෙන් මට මාව වෙනස් කරගන්න කිසිම උවමනාවක් නෑ කියලා.

      මේ දවස් වල මම ඉන්නේ දරාගන්න බැරි කම්පණයකින්. ඔව් පසුගිය දවසක මහ කැතම විදියට මා සතු සියළු දේ හොරා ගත්තා. ක්‍රෙඩිට් කාඩ් වල ඉඳන් මා සතු හැම ඩොකියුමන්ට් එකක්ම. මගෙ රැකියාව සම්බන්ද දේවල් හා තව බොහෝ දේ. කොටින්ම අන්තිම අවුරුදු තුනක ඉඳන් මම වැඩ කලේවත් නෑ. දුක් මහන්සිවෙලා කන්නේ බොන්න වෙලාවක් නැතිව ඔළුව මහා වගකීම් වලින් පුරෝගෙන නිදාගන්නේ නැතිව මම රස්සාව කරනවා. ඒක පිට කෙනෙක්ගේ ඇහෙන් පේන්නේ හරිම ලේසි දෙයක් විදියට.
     
        මම පැය අටේ රස්සාවක් කරන කෙනෙක් නෙමෙයි. මම මටම අයිති කන්සල්ටින් සර්විස් කරන්නේ. ඉතින් මම බොසා වුනාම මට වෙලාවල් නෑ. හිතුනොත් මාස ගණන් නිදාගත්තා. (පස්සේ බඩගින්නේ ඉන්න එක වෙනම දෙයක් නේ. ) හිතුනොත් පැය විසි හතරේම හරි වැඩ කලා. ඒවයේ ඇත්තටම මම කවදවාත් සල්ලි වලට වටිනාකමක් දීලා නෑ. ඇත්ත මට හැමදාම මට උවමනා කරන සල්ලි ලැබිලා තියෙනවා. සමහරවිට ඊටත් වඩා. මම බඩගින්නේ ඉඳලා නෑ. එහෙම වෙන වෙලාවට උනත් ඊට කලින් අර ගිය ආත්මේ පෙර පින් වලින්ද කොහෙද මාව සේව් වෙනවා. එතකොට මම ජීවිතේ වගකීමක් අරන් නෑ. ඒත් මම මගේ ඇරෙන්න ලෝකේ හැමකෙනාගෙම වගකීම් ඔළුවට ගන්නවා. මොකද මගේ රස්සාව සම්බන්දව මම ඉන්න වගකීම ඒ සම්බන්ද ක්ලයන්ලාටවත් නෑ. ඒක හින්දම ඒ මිනිස්සු මට යකාට වගේ බයයි. මොකද ඒ වෙලාවට මම බනින හැටි දැක්කම උන්ට හිතෙනවා ඇති මේ මනුස්සයගේ ඔළුව හොඳ නෑ කියලා. ඒක තමයි මගේ රස්සාව හින්දා මම අද ඉන්න තත්වේ. මේ හැම එකම මගේ දෙයක් වෙන හින්දා( ඇත්තටම මගේ දේවලට මම එහෙම නෑ) ඒකේ කිසි වටිනාකමක් අනෙකාට නෑ. එවෙලේ බැන්නට අර සෝඩා බෝතල් තියරිය හින්දා තව විනාඩි පහෙන් මට ඒවා මතක නෑ හෝ මම කිසිම කෙනෙක් එක්ක තරහා නොවෙන හින්දා ඕනෙම දෙයක් කෙලින්ම මූණට කියන හින්දා මට ඒවා ගාණක් නෑ. ඒ තමයි යුරෝපයේ හැදිච්ච මගේ ජීවිතය. ඒත් ඒක ලංකාව වගෙ රටක මිනිස්සුන්ට දිරවගන්න බෑ.

  ඇත්තටම මම අද වෙනකොට පාරේ ගියත්, ක්ලබ් එකක හිටියත්, සුපර් මාකට් එකේ හිටියත්, මහ රෑ කොල්ලෙක් එක්ක නිදාගෙන හිටියත් මගෙ ෆෝන් එකට කෝල් එකක් නො එන වෙලාවක් නෑ. ඒ හැමෝම මගෙන් අහන්නේ ඔය මගෙ රැකියාව හා සම්බන්ද යම් දෙයක්. සමහරවිට ඒවා නීති උපදෙස් වලට වඩා අපේ භාශාවෙන් කියනවා නම් ඇඳට ගිහින් කරන දේ පවා මිනිස්සු අහන තරම්. ඒ සිටුවේසන් හැම එකක්ම මම දරාගන්නේ ඒ මිනිස්සු අපි තරම් සමාජමය වශයෙන් හෝ උගත්කම අතින් සමාන නොවන හින්දා. ඒත් සමහරවෙලාවට දරාගන්න බැරි වුනාම බැනුම් අහන වෙලාවලුත් නැත්තේ නෑ. ඒත් අනිත් පැත්තෙන් ඒ මිනිස්සු මගෙන් බලාපොරොත්තුවෙන්නේ උදව්වක් හින්දා මගේ මනුස්සකම වෙන්න ඕන ඒක කියලා මම තදින් අදහනවා.

         ඒ ක්‍රමයට මම දැන් හැඩ ගැහිලා. මිනිසුන්ට ඇඩ්වයිස් කරලාම මම දැණ් හෙන පඬියෙක් වෙලා. බාගෙට සිංහල ඉගෙන ගත්ත කෙනෙක් හින්දා මම කතා කරන වචන උනත් කෙනෙකුට නොතේරි තියෙන්න පුළුවන්. මම කියන දේම නොවෙයි වෙන්න පුළුවන් අනෙත් කෙනාට තේරෙන්නේ. විශේශයෙන්ම ඔය කමියුනිකේසන් අවුල් තියෙනවා. මගේ හිතවතෙක් එක්ක වුනත් මම කතා කරද්දි මචන් මේක මෙහෙම කරපන් කියනවා මිසක් මෙහෙම වෙන්න නේද ඕනේ කියන විදියට මම සිංහල ඉගෙන ගෙන නෑ. ඒක ගොඩාක් වේලාවට ඉන්ටර්පීට් වෙන්නේ වැරදියට. ඒත් ආයෙත් මේ කියන්නෙ මගෙ ක්ලයන්ස්ලා ගැන නෙමෙයි. ඒ මිනිස්සු මම ගැන මොනවා හිතුවත් මට අවුලක් නෑ. මොකද ඒ මිනිස්සුන්ගෙයි මගෙයි සම්බන්දය බොහොම ලිමිටඩ්. මම ඒ කිසිම කෙනෙක් එක්ක පෞද්ගලික හිතවත්කමක් නෑ. ඒ එ මිනිසා වෙනුවෙන් කරන සේවාව හා වගකීමෙන් එහාට යම් ගරුත්වයක් වැදගත්කමක් හෝ කනගාටුවක් හැර. කොටින්ම දුකක් නෑ. මට සල්ලි නොදී ඉන්න මිනිස්සු පවා ගැන මට එහෙමයි. මොකද මගේ ලයිෆ් ටයිම් ගේම් එක වුනේ සල්ලි වලට වඩා යමක්. මගේ සල්ලි වලට මට කවදාවත් සතුට හොයන්න බැරි වුනා. මම හොයන්නෙ ආන්න ඒ සතුට. ඉතින් කවුරු මට බණ කිව්වත් ඔයා හරි පිළිවෙලක් නෑ ඔයාට සල්ලි ගැන අගයක් නෑ කියලා මම හිනාවෙලා ආපහු මගෙ ගමන යන්නේ මම කවදාවත් සල්ලි ගොඩාක් ගැන හීන මවලා නෑ. මට ඕනේ එකම දේ මගේ හිතේ සතුට. ඒක වෙනුවෙන් ඕනෙම දෙයක් කරන්න මම පැකිලෙන්නෙ නෑ. ( කොටින්ම ඔය මේ දවස් වල අහගන්න ඔයා යාළුවෝ අරයාට මෙයාට සල්ලි වියදම් කරනවා ඔයාව හැමොම ප්‍රොෆිට් කරනවා කියලා ඇහෙද්දිත් මම දරාගන්නේ මම ඒ හැම දෙයක්ම කරන්නේ මට සතුට නැතිවුනත් අයව සතුටු කරන්න. ඒත් අම්බානක දුකයි සමහරවෙලාවට. මම රහත් වෙලාවත් සේන්ට් කෙනෙක්වත් නෙමෙයි.

     ලොකුකමකට කියනවා නෙමෙයි මම අඩුම තරමේ මගේ ජීවිතයෙන්ම කෝපි එකකටවත් කාටවත් ණය වෙන්න කැමති නෑ. මම ලංකාවේ වුනත් කාගෙ හරි ගෙදරකට ගිහින් කෑම එකක් හරි කන්නේ ඒ මනුස්සය ගැන තියෙන අපරිමිත විශ්වාසයකින්. ඒක මට ජීවිත කාලයටම අමතක වෙන්නෙත් නෑ. අපේ අම්මා පොඩි කාලේ ඉඳන් කියපු බොහෝ දේවල් මම අදටත් විශ්වාස කරනවා. ඒකම මගේ ජීවිතේ අවුල් කරනවා කියලා මම නොදන්නවත් නෙමෙයි. අපි අද ඉන්න තැනට ආවේ අද වගේ බොහොම සැප පහසු ජීවිත ගත කරලා නෙමෙයි. කොටින්ම මම අද මෙ ඉන්න තැනට එන්න මට ඉගැන්නුවේ මගේ එක්ස්. අපේ අම්මලා මිය ගියාම පිට රටක තනිවෙච්ච මට එයා එහෙම නොකලා නම් මම කියන කෙනෙක් කවදාවත් ඉන්නෙ නෑ. අද තරම් ඕනේ දෙයක් දරාගන්න පුළුවන්වුන කෙනෙක් නෙමෙයි ඒ කාලේ මම. එයා ඒ කැපවීම කලේ උදේ රෑ වැඩ කරලා. සමහර දවස් වලට සුමානෙටම පැයක් දෙකකට වඩා නිදාගන්නේ නැතිව. එයා එක රෑට සීයකට දෙසීයකට කෑම හදනවා. එයා චෙෆ් කෙනෙක්. ඒ ජොබ් වල ස්ට්‍රෙස් ගැන දැන් ලොකු මිනිහෙක් වෙන මට තේරුණාට ඒ කාලේ මට පොඩ්ඩක්වත් තේරුනේ නෑ. දවල්ට එයා තවත් රෙස්ටොරන්ට් එකක වැඩ කලා. මගේ කොලේජ් පීස් වලට, අපේ ගෙවල් කුලි, අපේ හොලිඩේස්, අපේ ක්‍රේසි ඩෙසයර්ස් වගේ එක එක දේවල් වෙනුවෙන් වගේම නිවාඩුවක් හම්බ වුන ගමන් අපි ඒ නිදහස හොයාගන්නත් කියන්න බැරි තරම් සල්ලි වුවමනා වුනා. ඒත් එයා කවදවාත් මට ඒවා ගැන වචනයක් කිව්වේ නෑ. කොටින්ම මම හෙන නාස්තිකාරයි. මම ජීවිතෙ දුක් විඳලා තිබුනේ නෑ එතකොට. අනික අපි දෙන්නම පොඩි වයසේ. එයාට ඕනෙ නම් විසි දෙකක් තුනක් නැත්නම් මට විස්සක්වත් නෑ.

    ඈත්තෙන්ම මට දැන් ලැජ්ජයි මම එහෙම වෙච්ච එක ගැන. මගේ එක්ස්ගේ මොන වරද තිබ්බත් මම එයාගේ හොඳම යාළුවා වෙන්නේ අන්න එක හින්දා. කොටින්ම අපි දෙන්නා අදටවත් එක රුපියලකටවත් ප්‍රශ්නයක් ඇති කරගෙන නෑ. එයා දැන් ඇති තරම් නාස්ති කරනවා. සමහර විට මම එයා ඒ කාලේ එයා මට කරපුවට වඩා බොහෝ උදව් කරලා තියෙනවා. ඒත් ඒකේ තියෙන්නේ අපරිමිත ගෞරවයක්. එයා එදා නොහිටියා නම් අද මේ මම නෑ. ඒ විතරක් නෙමෙයි මේ ළඟක් වෙනකම්ම ඕනෙම ප්‍රශ්නයක් වුනාම ඕනෙම සල්ලි මිලියන් ගාණක වුනත් අවශ්‍යතාවයකදි "බුරු ඔයාට කීයක්ද ඕනේ?" එහෙම නැත්නම් "ඔයාට ප්‍රශ්නයක් වෙයි හරි මම ඒක කරන්නම්" කියලා ඔහු බලෙන් එල්ලිලා ඒ ප්‍රශ්න විසදනවා. ඒ තමයි අපේ බැඳීම. කොටින්ම ඔහු මට මගෙ එක්ස්ම නෙමෙයි. මගේ අම්මා අප්පච්චි මගේ සහෝදරයා, මගෙ යාළුවා හා මගෙ ප්‍රේමවන්තයා විතරක් නෙමෙයි අන්තිමට ඔහු මගෙ සැමියත් වෙනවා. කොටින්ම මීට අවුරුදු දහයකටත් වැඩි කාලයකට කලින් අපි බ්‍රේක් අප් වුනාම මම අනාථ වෙනවා. එතකොට මම ජීවිතේ ගැන මොනවත් දන්නේ නෑ. ජීවත් වෙන්න රස්සාවක් කලාට මට මැනේජ්මන්ට් ගැන බින්දුවක්වත් තේරුමක් තිබුනේ නෑ. ඒ මදිවට මට තිබුන ලොකුම අවුල වුනේ එයා නැතිව මම ජීවත් වෙන්න දැනන් හිටියේ නෑ. කොටින්ම කීවොත් උදේට කිරි එකත් හදලා ඇඳට ගෙනත් දීලා මාව ඇහැරවන්න තමයි එයා හුරු වෙලා හිටියේ. මම ගේ අස් කලා නම් එයා ඇඳුම් අයන් කලා. එයා ඒක කලා නම් මම තව මොනා හරි කලා. කීයට ගෙදර ආවත් එයා මගේ යුතුකම් ඔක්කොම කලා. මාත් එහෙම තමයි. අපි දෙන්නගේ ජීවිතය ලොකු බැලන්ස් එකකින් ගෙවුනා. ලොකු අන්ඩර්ස්ටෑන්ඩින් එකක් තිබුනා. ඒත් කාලයත් එක්ක අපි ඕනෙම කෙනෙක් වැරදි කරනවා. ඒත් එයාට වෙච්ච එක වැරදීමකට මම එයාගෙන් ඈත් වෙනවා. (මම ජීවිතේ කරපු ලොකුම වැරැද්ද) කොහෙද ඒ කාලේ මම හිතන් හිටියේ තමන්ගේ මිනිහා තමන්ව එක වචනයකින් හරි රවටන එක තරම් තවත් ලොකු දෙයක් නෑ කියලානේ.

        එහෙම අපි වෙන්වුනාමයි මම දැනගත්තේ මට එයා නැතිව ජීවත් වෙන්න බෑ කියලා. ඊට පස්සේ මම ක්ලබ් වල බොන්න ගන්නවා. කෙලින් හිටගන්න බැරි වෙනකම්. අතේ සල්ලි තියෙනකම්. මට ඒවට යාළුවොත් සෙට් වෙනවා. අපරාදේ කියන්න බෑ සල්ලිත් තිබුනා. සල්ලි ඉවරවුනොත් අත්‍යාවශ්‍ය දේවලට එයාට එක කෝල් එකයි දෙන්න ඕන වුනේ එයා බෑන්ක් කලා. එහෙම කාලයක් ගෙවෙනකොටයි මම ලංකාවේ යාළුවෙක් අඳුනගන්නේ. එයා තමයි මගේ ජීවිතෙ වෙනස් කල පුද්ගලයා.

   ඉන් එහාට වෙච්ච දේවල් මම කියන්න ඕනේ නෑ. එයා මට ජීවත් වෙන්න කියලා දුන්නා ඒකට මම ලයිෆ් ටයිම් එයාට ණයයි. ඒත් යාළුවෙක් විදියට එයාට මාව තේරුම් ගන්න බැරි වුනා. මම ඒ වෙනුවෙන් ඊට වඩා කාලයක් දුක් වින්දා. දැන් නම් මට මතකවත් නෑ. ( කොටින්ම ඊයේ අපේ මල්ලි මම අඬනවා අහගෙන ඉඳලා කීවේ ඔයා අහවලා හින්දා කොච්චර දුක් වුනාද ඇඬුවද? මොන මඟුලක්ද ඕයි මේ පොඩි එකෙක් වෙන්නේ කියලා. ඔයා කවදවාත් හැදෙන්නේ නෑ කියලා. ඒ විතරක් නෙමෙයි තව ගොඩාක් බැන්නා) ඒත් ඒ අපේ මල්ලි. එයා ආවට ගියාට වචන කියන්නේ නෑ. එයා කවදාවත් මගේ පැත්තෙන් විතරක් ප්‍රශ්න දකින්නේ නෑ. එයා හොඳ මෙඩියේටර් කෙනෙක්. මාව කුඩු කරනවා හැම වෙලේම. සෑහෙන කාලයක් මාව ආශ්‍රය කරලා මම කරන හැම ගොන් වැඩක්ම දරාගෙන මාත් එක්ක එකට අත්වැල් බැදගන්න මගේ අම්මගේ පුතා නොවුනට මගේම මල්ලි. එයා මම හින්දා දරාගන්න ප්‍රෙසර් එක එසේ මෙසේ එකක් නෙමෙයි. එහෙම වුනා කියලා ඌව කුඩු කරලා ඌට බනින එක නතර වෙන්නෙත් නෑ. හැබැයි ආයෙ විනාඩි පහකින් ගිහින් මල්ලි මට සමාවෙන්න කිව්වම එයා දන්නවා ඒ තමයි එයාගේ අක්කා කියලා. ඒ තමයි අපි හැදිච්ච කල්චර් දෙකේ වෙනස කියලා.

   
       එයා මේ දවස් වල මට කියන ලොකුම දේ ඔයා තේරුම් ගන්නවා ලංකාවේ හැදුන මිනිහෙක්ට ඔයාගේ සිස්ටම් එකට එන්න බෑ කියලා. ඒක ඇත්ත. ඒත් මම ඒ මිනිසුන්ගෙ මට්ටමට ගිහින් එයාලව තේරුම් ගන්නවා. එයාලා කැමති හැමදේම කරනවා. ඒත් අන්තිමට ඒ හැමෝම මම කරපු කිසිම දෙයක් අගය කරන්නේ නෑ විතරක් නෙමෙයි මට කතා කරන්නෙවත් නෑ. හොලිඩේ එකක් ආවත් මට කැමති දෙයක් මම කරන්නේ නෑ. මම ආස නිදහසේ ඉන්න මම නිවාඩු ආවම. බීච් එකක. එහෙම නැත්නම් කොහේ හරි ඈත දුශ්කරගමක, මඩ වලක, ගෙම්බෙක් වගේ රශ්නේ ඉන්න බෑ කියලා වතුර වලක හරි බැහැලා ඉන්න. ඒත් මම යාළුවෝ එක්ක මිසක් ඒ කොහෙවත් යන්නේ නෑ. උන් උන්ට ඕනේ හැමදේම කරගෙන කම්ෆෝට් වෙලා එනකම් මම ගෙම්බෙක් වගේ බලන් ඉන්නවා එහෙදි. ඒ විතරක් නෙමෙයි මම ආස ඉතින්. උන් හින්දා මම කොල්ලෙක්වත් යාළුකරගන්නේ නෑ එහෙදි. එතකොට මම මගෙ යාළුවන්ට වෙන් කරන කාලය අඩු වෙන හින්දා. ඒ යාළුවොත් එහෙම තමයි. කොහෙද උන්ගේ කල්චරල් ප්‍රශ්නනේ. මම ඒවා තේරුම් අරන් ඒ හැමදෙයක්ම එක්ක මම වෙනස් වෙලා උන්ව දරාගෙන ඉඳලා එනවා. ඒත් ඒ යාළුවෝ කිසිම කෙනෙක් මාව තේරුම් ගන්නේ නෑ. එහෙම මාව ඒ තැනින් තේරුම් ගත්ත එකම එක ගෑණු ළමයයි ඉන්නේ මගේ යාළුවන්ගෙන්. එයාට මගේ ස්ටයිල් එකට හැඩගැහෙන්න හරිම සිම්පල් වුනා. එයා මාව දරාගත්තා. ඒත් එයා පොඩි කෙල්ලෙක්. ඒක හින්දා මම ඒ ළමයාට දක්වන ගරුත්වය කෙළවරක් නෑ. කොටින්ම අපේ මල්ලි ගාවට මට ඕනේ දේ තේරුම් ගත්ත එකම කෙනා එයා. අවුරුදු දහයක් කතා නොකලත් එයාව තියෙන තැනින් බින්දුවක්වත් පහලට එන්නෙත් නෑ. ඒක ඒ ළමයා දන්නවද කියලාවත් මම දන්නේ නෑ.

          අනිත් යාළුවො කවුරු මාව තේරුම් ගත්තද කියන්න මට දැන් තේරෙන්නේ නෑ. කොටින්ම මගේ හොඳම යාළුවාවත් මාව තේරුම් අරන් නෑ. මට මොන දේ කලත් වැඩක් නෑ ඒක නැතිව. එයිට පස්සේ කැපවීම් කලාට වැඩක් නෑ. ඒකෙ අගයක් නෑ. අපි අනෙකාව දරාගන්න බැරි නම් මොන මඟුලකටද ඒ යාළුකම්. විශේශයෙන් යාළුවෝ බොරු කරනකොට? අහුවෙච්ච බොරු වුනත් අපි ඕනේ තරම් දරාගෙන ඉඳලා තියෙනවා. ඒවයේ කිසිම අවුලක් නෑ. බල්ලෙක් වගේ බැණුම් අහගෙන ඉඳලා තියෙනවා. ඒත් කමක් නෑ. මොකද මාත් බනිනවනේ. ඒත් ඒ හැමදේම වෙන්න ඕනේ අපේ යාළුකම හරහා මිසක් මේ විදියට නෙමෙයි. සමාජයට පේන්න යාළුකම හිතවත්කම් තියාගන්න මට ඕනේ නෑ. අපිට කොච්චර අර උදව් මේ උදව් කලත් වැඩක් නෑ එහෙම වුනාම. කොටින්ම මම වගේ කෙනෙක් යාළුවෙක්ගෙන් තියා නොදන්න කෙනෙකුගෙන්වත් රුපියලක්වත් වියදම් කරන්න පුරුදු නොවෙච්ච කෙනෙකුට ඒක හරි දුකක්. (එයත් එහෙමම කෙනෙක්නේ. ) ඒ හැම දෙයක්ම නිකම්ම නිකම් අර මගේ තියෙන ලෝකයා මාව දකින ඉමේජ් එකෙන් මාව ආශ්‍රය කරනවා කියන විදියට හිතෙනකොට මැරෙන්න තරම් දුකයි. ඒක මගේ හොඳම යාළුවාගෙන් වෙද්දි දැනෙන කම්පනය දරාගන්න බෑ මට.

    මම දන්නවා මගේ වැරදි දාහක් තියෙනවා. කොටින්ම මම අනෙකාව ප්‍රොටෙක්ට් කරන විදිය ලංකාවේ කෙනෙකුට හුරු නෑ. මම යකෙක් වගේ. ඒවා ඉතින් බයි ඩිෆෝල‍්ට් නේ. ඒවා නොදැන මාව ආශ්‍රය කරන යාළුවෝ මට හිතාගන්න බෑ. ඊයේ කාලයකට පස්සේ මම කවුන්සෙලින් ගියා. මෙච්චර ශක්තිමත් ගෑණියෙක් වෙන මම එහෙම වෙන්න ඕනෙද? මේ වෙන ආර්ථික කඩා වැටීම් වලට මට නැතිවෙන දේවලටවත් කිසිම බයක් නැති මම මේ බැඳීම් හින්දා එහෙම වෙන්න ඕනෙද? මේ වෙන හැමදෙයක්ම මට දරාගන්න බෑ. හෙට අනිද්දා පිපිරිලා මැරෙන්න තරම් ස්ට්‍රෙස් එකකින් මම ඉන්නේ. ඒ මේ බැඳීම් හින්දා මිසක් මම මේ දවස් වල ගගත කරන කටුක ජීවිතේ හින්දා නම් නෙමෙයි....

 එච්චරයි.....

( since these are very personal notes of me i hardly believe   u readers respect it. no any comments needed other than understanding me as my self.)

Monday, October 19, 2015

අන්තිම ම තණකොළ ගහත් බදාගැනීම.... ! ආදරේ නම්....

                         
                    ආදරේ කියන්නේ වේදනාවක් විතරමයි කියලා දැනගෙනම ඒ පස්සේ යන කූඹියෙක් වෙන එක  කොයි තරම් විහිළුවක්ද?
 

      ආදරේ කියන්නේ අපේ කරගන්න අයිතිවාසිකම් කියන ආදරේ විතරක් නෙමෙයි තව බොහෝ දේ.... මගේ ආදරය හරිම වෙනස්. මට  මගේ කියන සීමාවෙන් එහෙම ආදරයක් ගැන ආත්මාර්ථකාමි ආදරයක් තිබ්බේ වසර ගණනකට එහා....

 

     ඒ මනුස්සයා එක්ක මම ජීවිතේ ඉගෙන ගත්තා. ඒ මනුස්සයා මාව, මට ජීවිතය දීලා ඇත් වෙනකම් මම බලාගෙන හිටියා. කොටින්ම වෙන ගැණුන්ට පෙම් කරද්දි පවා මම ඒවා ඉවසගෙන හිටියා. හ්ම් කිව්වේ නෑ. මගේ යාළුවෝ මට හිනා වුනා. මම බෝධි සත්ත්ව කියලා. ඒත් මට අනුව ඒ මගේ ආදරයේ සීමාවන්.
දැන් මට මහන්සියි. ඔව් හොඳටම මහන්සියි.

   පස්සේ කාලෙක මට ඒ මනුස්සයා ඇවිත් ඇහුවේ "ඔයා මම ගැන පොඩ්ඩක්වත් හිතුවේ නෑ මම ඔයාගෙන් ඈත් වෙලා බල්ලෙක් වගේ දුක්විඳිනවා දිහා ඇහැක් ඇරලා බැලුවේ නෑ කියලා...."

 මට කියන්න වචන තිබුනේ නෑ.

       මම එයාට පේන්න ලෝකෙට පේන්න අඬන්න නැතිව ඇති. ඒත් අදටත් මම අඬනවා. අදටත් මම මගේ ජීවිතේට කවුරුත් ලංකරගන්නේ නෑ ඒ වගේ බැදීමකට.

  ( ඒත් අපි දෙන්නම කොන් දෙකක දෙවිදියකට දුක් වින්දා කියලා මම දන්නවා. ලෝකේ කොහේ හරි ඈතක ඔයා සතුට හොයාගන්නකම් මම බලා හිටියා. ඒක ඔයා උවමනාවෙන් නැති කරගනිද්දි මම හිමීට මග ඇරලා ගියා. මට නැති වුනාට ඔයා එහෙම වෙන්න ඕනේ කෙනෙක් නෙමෙයි. ඒක ගැන මේ මොහොතේත් මම පසුතැවෙනවා. මම ඔයාව බේරගත්තේ නෑ වගේ හැඟීමකින්.)

   ඒත් ඔයා පොඩි බබෙක් නෙමෙයිනේ.

 ආයේ මම හිත හදාගන්නවා. ඒත් දැන් මට මහන්සියි වයසයි. ඉස්සර වගේ බැඳීම් වලට හොටු පෙරාගෙන අඬන්න මට බෑ. ලෝකේ ඉස්සරහා මවා ගත්ත හිනාවක්, වැදගත්කමක් මට තියෙනවා. මගෙ ආරස්සාවට, මම ජීවත්වෙන සමාජයට ඕනේ ඒක මිසක් මගේ කඳුළු නෙමෙයි.

එහෙම මගේ ආදරේ වෙනුවෙන් කැපවීම් කරපු මට මේ වගේ පොඩි බැඳීමක්  දරාගන්න බැරි නම් ඒ මම වෙන්න පුළුවන්ද?

 කොහෙත්ම නෑ....  මට එහෙම වෙන්න උවමනාවක්වත් නෑ.


      බුරු බබාට ඊට එහා ලෝකයක් තියෙනවා. කාගෙන්වත් කිසිම උදව්වක් නැතිව ආපු මේ ගමන මෙතනින් අඬලා නතර කරන්න ලැස්ති වෙන්න පුළුවන්ද?

       මීට වඩා ලෝකයක් මට තියෙනවා. ඒ ලෝකේ මට වඩා දුක් විඳින මිනිසුන් ඉන්නවා. මට කිසිම අගයක් නැති මගේ ජීවිතෙන් පිහිට වෙන්න පුළුවන් ජීවිත අනන්ත තියෙනවා....

 ඔව් අපේ අම්මගේ හීනේ....

මම ඒක කරන්නම ඕනේ.... !!!


Thursday, November 14, 2013

ප්‍රේමණිය උන්මාදය

     

      බොහෝ දේවල් වචන වලට පෙරලගන්න ඕනේ කියලා හිතිලා හුඟාක් දවස්. ඒත් ඒකට හරියටම ගැලපෙන වටපිටාව ලැබුනේ නෑ මේ දවස් වල. ගත වගේම හිතත් මොකක්දො මන්දා නොදැනෙන හැඟීමකින් ඔත්පල වෙලා. ඉස්සර වගේ නෙමෙයි මේ වයසේදි දේවල් දරාගැනිමේ ශක්තිය හීන වෙලා. කොයි තරම් ශුභාරංචි තිබුනත් හිත ඔත්පල වෙන්නේ බොහොම භයානක විදිහේ වේගයකින්.


           සමහර වෙලාවට අපි බලාපොරොත්තු නොවෙන දේවල් අපිට ලැබෙනවා. සමහරවෙලාවට අපි බලාපොරොත්තු වුන පුද්ගලයාම අපේ ඉස්සරහා. ඒත් කොහේ හරි මොකක් හරි නොගැලපීමක්. කවදාවත් නොදැකපු, නොහිතපු බාධක අපේ ජීවිතවලට මග හරස් කරයි කියලා භයානක විදියට කල්පනා වෙනවා. සමහරවිට එහෙම දේවල් ඇත්තටම සිදුවෙන එකකුත් නෑ. ඒත් කණාමැදිරි එලියෙන් බැටකාපු මිනිහා වගේ මාත් දැන් හැමදේමට බයයි. කොයි දේ කොහොම වුනත් ඔබේ ප්‍රේමය එක්ක ආපහු මට හිනා වෙන්න, ජීවිතේ යම් යම් දේවල් එක්ක සතුටින් ඉන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි වෙලාවකට ඔබ හින්දාම අනන්ත බියකුත් මට තියෙනවා. ඒ ඔබ මට අහිමිවෙයි කියලා දැන්මම මම පිළි අරන් ඉන්න හින්දා කියලා හැමෝම මට දොස් කීවට මම දන්නවා ඒ ප්‍රේමයෙන් ආතුර වෙලා ඉන්න මගෙ හිත හදාගන්න මම ගන්න එකම එක ආරක්ශක පියවරක් විතරක්ම බව. ඉස්සර මම හිතාගෙන හිටියේ ප්‍රේමයට ජාතියක්, ආගමක්, වයසක් නෑ කියලා. දැන් මට හිතෙන්නේ ඒ හැමදේම ප්‍රේම සම්බන්දතාවයකදි ලොකු බලපෑමක් කරන්න පුළුවන් කියලා. සමහරවිට මට වඩා වෙනස් විදියට අනිත් අයට දැනෙනවා ඇති. ඒත් මේ ප්‍රශ්නේ ඇලිලා ගැලිලා ඉන්න මට ඒක වෙනස් කරන්න දැන් නම් කොහොමටවත් බෑ.


    මගේ අතීත ප්‍රේමවන්තයෝ වගේම ඔබත් එක විදියකට  සමානයි. හමේ පාටින්, නිල්  ඇස් වලින්, ජාතියෙන්, වයසින් ඔබ වෙනස් වුනාට කලින් ප්‍රේමවන්තයෝ වගේම ඔබේ සමානකම් එක්ක උමතු නොවී ඉන්න හැකියාවකුත් මට නෑ. ඒ උමතුවත් එක විදිහක සුන්දරත්වයක්. උදේට නැගිට්ට ගමන් එවන ආදරේ පිරිච්ච කෙටි පණිවිඩයකට මගේ මුළු ආත්මයම අවදිකරවන්න ඔබට හැකිවෙන්නෙත් මේ සමානකම් හින්දම වෙන්න ඕනේ. ඔබේ සමහර ළාමක වැඩ දිහා බලල මට හිනා යන්නෙත් හරියට මට ඔබ තවත් එක පොඩි එකෙක් වගෙ පේන හින්දා වෙන්නත් ඇති.  සමහර වෙලාවට ඔබ මට ගරු කරන තරම මට දරාගන්නත් අමාරුයි. ඒ හැම වෙලාවකම අපේ වයසේ ප්‍රශ්නේ මගේ ඔළුවට ඇවිත් මාව ඔත්පල කරන්න ගන්න එක මට දරාගන්න බැරි තරමටම අසරණයෙක් වෙලා. ඒත් ඒක ඔබේ වරදකින් වෙන දෙයක් නෙමෙයි. ඒත් බොහෝ වෙලාවට මටම රිදෝ ගන්න මම ඔබව උත්පේරකයක් කරගෙන.   කවදාහරි දවසක අපිට වෙන් වෙන්න වුනාම ඒකට දැන්ම ඉඳන්ම මගේ හිත හදාගන්න වෙන්නැති ඒ විදියට හැඩ ගැහෙන්නේ. කොහොමත් ආදරය ගැන දැන් මගේ කියවීම බොහොම සරලයි. ඉස්සරට වඩා නිදහස් විදියට ආදරය කරන්න මට පුළුවන් වෙන්නෙත් ඒක හින්දම වෙන්න ඕනේ.
 
 
     ඒත් මේ හැම විඳීමක්ම මට නැවුම් මිහිරක් ගෙන දෙනවා.  වැඩට යන ගමන්, කාර්යාලේ ඉන්න ගමන්,  ඔබෙන් ලැබෙන පුංචි කෙටි පණිවිඩයක් මගේ මහන්සිය තෙහෙට්ටුව නිවලා දානවා. කෑම වෙලාවට, කෝපි මේස අස්සේ ඔබට ලැබෙන හැම පුංචි ඉඩකදිම ඔබට මාව මතක් වෙන එකටත් මම දැන් බොහොම ලෝභ වෙලා.   හිතලම ඔබට උත්තර නොදුන්නම ඔබ මාව හොයන හැටි ගැනත් මම උමතු වෙලා. සති අන්තේ එනකම් ඔබව මුණගැහෙන්න බලා ඉන්න එකත් කල්පයක් වගේ දැනෙන්නෙත් ඒ ආදරය මට අත්‍යාවශ්‍යම හින්දා වෙන්න ඇති. ඉස්සර වගේ යාළුවොත් එක්ක නැතිව ෆිල්ම් එකකට, නාට්‍යයකට, සංගීතයකට ඔබත් එක්ක අත්වැල් බැඳගෙන යන්න මගේ හිත රහසෙන් කෑගහනවා. වයින් වීදුරුවක් හීනියට තොලගාමින් ඔබේ කෙලවරක් නැති තාරුණ්‍යයේ කතා අහන්න, කතා කරන ඔබේ ඇස් දිහා බලන් ඉන්න තරමට මගෙ උමතුව උත්සන්න වෙලා.
   
     ප්‍රේමය කියන්නේ කොහොමත් උන්මාදයේ එක කොටසක්නේ. හැමෝටම වගේ මටත් ඒකෙන් ගැලවෙන්න බෑ. ඒත් වෙනදා වගේ කෙලවරක් නොපෙනෙන බලාපොරොත්තු මේ ප්‍රේමයට නෑ. මම දන්නවා ඔබ කවදා හරි දවසක මට අහිමි වෙනවා කියලා. ඒකේ දුර තීරණය කරන්න වෙන්නෙත් අපි දෙන්නටම නෙමෙයි. අපිට තියෙන්නේ අනිත් අයගේ තීරණ වල අවනත වෙන්න විතරමයි කියලායි මට හිතෙන්නේ. කොහොමත් අපිට අපේ සැබෑවට මුහුන දෙන්න වෙනවානේ. දෙවියන් වහන්සේ කීවත් මගේ ජීවිතය අතෑරලා දාලා ඔබව ලබා ගන්න මම කවදාවත් උත්සාහ කරන එකකුත් නෑ. ඒක මහ කාලකන්නි හැඟීමක් කියලා මම දන්නවා. ඒත් මට වඩා ඔබට ගැලපෙන ජීවිතයක් තියෙන්න ඕනේ කියලා මේ ආදරණීය උමතුව අස්සෙත් මට හිතෙනවා.
 
    මේ දේවල් ඔබට කියන්න හිතාගෙන බොහෝ දවස්. ඒත් කවදාවත්ම මට ඔබ ඉස්සරහා කියන්න බැරි දේවල් ගැන මොකටද දුක්වෙන්නේ. කවදා හරි දවසක් වෙනකම් බලාපොරොත්තු නැති, හීන නැති ප්‍රේමයක් එක්ක මා ඔබත් එක්ක ඉන්නවා. ආදරය කියන්නේ කොහොමත් සදාකාලික දෙයක් නෙමෙයිනේ. නොහිතුව මොහොතක අහම්බෙන් ආපු ආගන්තුක ඔයා වගේම මේ ආදරයත් ඒ විදියටම අහම්බෙන් යන්න යාවි. එතෙක් සතුටින් ඉන්න මට පුළුවන්. හරියම මේ දැන් ලැබුන ආදරේ පිරිච්ච ටෙක්ස්ට් එක වගේම ජීවයක් එක්ක මම ආයෙමත් ජීවත් වෙන්න පටන් අරන්........



(images by Google)

Thursday, October 24, 2013

Goodbye....

    අපි ආදරේ කරන කීදෙනෙක් අපිව හරියටම තේරුම් ගන්නවද කියලා මම මේ අන්තිම කාලේ ටිකක් ගැඹුරට හිතන්න පෙළඹුනා. සමහරවිට මේ ගෙවුන කාලේ සමහර සිදුවීම් එක්ක එහෙම හිතන්න මාව පොළඹවන්න ඇති. කොයිදේ කොහොම උනත් හැංගිලා කාටවත් හොරෙන් කරන්න අපි හැමෝටම හැකියාවක් නෑ. මම වගේ කෙනෙකුට ඒක කොහොමටවත් කරන්න උවමනාවකුත් නෑ. සිදුවීමෙන් සිදුවීමට ඇනලයිස් කරන්න නොගියාට යම් යම් සිදුවීම් ටිකක් මගේ හිතට තදින් වද දුන්නා.
 


             ප්‍රේමවන්තයෙක් මඟ හැර යාම.


  ප්‍රේමවන්තයෝ මඟහැර යන එක ටිකක් දුරට හිතන්න ඕනේ කාරණයක් ....

      උදේ රෑ දුරකතනයෙන් කතා කලාට ඔබත් එක්ක දුක සැප බෙදාගත්තාට ඔහුගේ ඇයගේ පෞද්ගලික ජීවිතේ හැමදේම දැනගෙන හිටියාට හරියටම කෙලින් ඒවා කියන්නේ නෑ ලේසියකට ප්‍රේමවන්තයෝ.
"මේ ඔයාට කෙල්ලෙක් ඉන්නවද" කියලා අහන්නයැ අපි වුනත්?
අනිත් එක බැරි වෙලාහරි ඕකට ලැබෙන උත්තරය අපේ හිත රිදෙන උත්තරයක් වෙයි කියලාත් හිතෙනවා නම් නොඅහා ඉන්න එක හොඳයිනේ.
 අපේ හිත රවටගන්නවා වුනාට ඒකත් එක්තරා විදියක සැනසීමක් තමයි. ක්‍රශ් එකක් තියාගෙන ඔය අනිත් අනන්මනන් නොදැන ඉන්න තරමට හොඳයි.
ඒත් හැමවෙලේම ඒක කරන්න බෑ.
 හිටි ගමන් ඔබට ඕනෙවෙනවා ඔබේ හිත කොයිතරම් ශක්තිමත්ද කියලා දැනගන්න. ඒ වෙලාවට ඔබ කරන්නේ අර කවරදාවත් නොඅහන්න, නොදකින්න බලාපොරොත්තු වෙන දේවල් වලට ක්ෂණයකින් යොමුවීම.
  ඒ වගේ වෙලාවට ඔබට හරියටම තේරුම් ගන්න පුළුවන් කවුද ශක්තිමත් කියලා. ඒත් පසුවට දුකක්, කළකිරීමක් නැතිවෙන්නේ නෑ.  ඒත් ඔබට, ඔබව තේරුම් ගන්න, ඔබ ආදරය කරන පුද්ගලයාව තේරුම් ගන්න මේ දේවල් බොහෝ උදව් වෙනවා.


  යාළුවන්ගේ නොසලකාහැරීම්
   
     ඔබේ සමහර යාළුවන්ට ඔබ අනිත් හැමෝටම වඩා ආදරේ වෙන්න පුළුවන්නේ. එහෙම වෙන්න සමහර හේතු තියෙනවා. සමහරවිට ඒ යාළුවෝ ඔබට විශේස පුද්ගලයෝ වෙන්නේ ඒ යාළුවන්ගෙනුත් ඔබට තියෙන බැඳීමමත. අර ප්‍රේමවන්තයෝ වගේම තමයි මේ අයත් දුරකතනයකින් මම උඹට ආදරෙයි, ලෙංගතුයි කියලා කීවට ළඟට ගියාම ඒ ආදරේ, ලෙංගතුකම දැකගන්න නෑ. සමහර අය සංස්කෘතික රාමුවල හිර වෙලා ලෝකයා හිනාවෙයි කියලා බයට. ඇයි ශ්‍රී ලංකාව වගේ රටක කෙල්ලෙක් තව කෙල්ලෙකුට හරි, පොඩි එකෙකුට හරි, අම්මෙකුට තාත්තෙකුට හරි, සහෝදර සහෝදරයෙකුට හරි, ආදරෙයි කියන එක කුනුහරුපයක් වගේ. එහේ ආදරේ කියන වචනය භාවිතා වෙන්නේ කොල්ලෙක් හෝ කෙල්ලෙකු අතර විතරමයි. අතින් අල්ලන්න පුළුවන්, හග් කරන්න පුළුවන්කමක් තියෙන්නෙත් ඒවගේ විෂම ලිංගිකයෝ අතර විතරමයි. එහෙම නොවෙන උන් ලෙස්බියන්ලා.(එහෙම නැත්නම් සමාජය එහෙම හිතයි කියලා සංස්කෘතික රාමුවෙන් වැහිලා හැංගෙන්න ඕනේ)
 
 කාට කියන්නද මේ අවනඩු?

      බැරි වෙලාවත් කොළඹ රටේ කෙල්ලෙක්ව අතින් අල්ලලා හග් කරලා අහු වෙන්න එපා. එහෙම වුනොත් ඔබ සමලිංගිකයෙක් වෙලා.

       තවත් සමහර අය තමන්ගේ යාළුවෝ මුණගැහෙන්න කැමති කාටවත් නොදැනෙන්න. ඒ කියන්නෙ ඒක හරියට රහස් සම්බන්දතාවයක් වගේ. ෆේස්බුක් එකේ ෆොටෝ එකක් දාන්න බෑ, බ්ලොග් එකක හරි කොහේ හරි ඔවුන් ගැන සටහනක් ලියවෙන්න බෑ මේ අය හරිම අසහනයට පත්වෙනවා. සමහරවෙලාවට නිදහසේ හුලං ටිකක් වදින්න මුහුදක් අයිනට ගියත් අනේ අරයා දකියි, මෙයා දකියි, ඊට පස්සේ මම ඔයත් එක්ක හිටියා කියලා හැමෝටම කියයි කියලා ඔබව අපහසුතාවයට පත්කරනවා. ඒ අය හැම වෙලේම හිතන්නෙ ඔවුන් ගැන විතරමයි. ඒකෙන් ඔබ පත්වෙන අපහසුතාවය ගැන ඒ යාළුවන් හිතන්නේ නෑ. ඔබට මුහුදක් අයිනට ගියාම දැනෙන සැනසීම විඳගන්න ලැබෙන්නේ සීමිත කාලයක් වෙන්න පුළුවන්. සමහරවිට අවුරුද්දකට දවස් තුනක් හතරක් වෙන්නත් පුළුවන්. ඒත් මේ වගේ දේවල් හින්දා තමාගේ යාළුවගේ ඒ විඳීම නැති කරන එක ගැනවත් මේ අයට කල්පනාවක් නෑ.

     ඔබ ඔබට යමක් මිළට ගන්න හැමවෙලේම හිතනවා මේක ඔබගෙ යාළුවටත් ගැලපෙනවද කියලා. ඒත් ඒ මොහොතෙම  ඔවුන්ට ඒක ලබාදෙන්න ඔවුන් ඔබ ළඟ නෑ. එවිට ඔබ කරන්නේ බොහොම ආසාවෙන් ඔවුන් වෙනුවෙන් යමක් මිළදී අරන්  ඒක ගෙනිහින් ඔබේ යාළුවට දෙන එක. ඒ දෙන්නේ ඔවුන් ඒක ආදරෙන් බාරගනීවි කියලා හිතාගෙන. ඒත් ඔබ දකින්නේ නෑ ඔවුන් ඒ දේ ආදරෙන් පළඳිනවා හෝ ඇඟළනවා. ඔබට දුක හිතෙනවා. ඒත් ඔබ යමක් කියන්නෙ නෑ ඒ ඔවුන්ගෙ කැමත්ත කියලා හිතලා.

        ඒත් ඔබ කොයි තරම් නම් ආශාවෙන්ද ඒක ඔවුන් වෙනුවෙන් ලබා දුන්නේ?  ඔබගේ සතුට තේරුම් ගන්න ඒ අයට බෑ.
   
         ඒත් ඔවුන් ඔබට යමක් දීපුවම ඔබ ගිහින් හැමෝටම කියනවා මේක මට දුන්නේ අහවලා කියලා. ඒ විතරක් නෙමෙයි ඔබ ඒක නිතර ඇඟලනවා. ඔබ ඒ කරන්නේ සතුට ඉහවහා ගිහින්. ඔබට වටිනා යාළුවෝ ඉන්නවා කියලා ඔබ හැමවෙලේම සතුටු වෙනවා. ඒ විතරක් නෙමෙයි ඔබ හැමවෙලේම ඔවුන්ට ස්තූති කරනවා. ඔබට කවදාවත් කාගෙන්වත් යමක් ලැබුන කෙනෙක් නෙමෙයි වගේ ඔවුන්ව අගය කරනවා. ඒත් ඔවුන් ඔබට කියන්නේ ඔවුන් ඒකෙන් අපහසුතාවයට පත්වෙන බවයි. කොටින්ම ඔබේ යාළුකම ඔවුන්ට කරදරයක් වෙලා.

          ඒත්, ඔබ නතර වෙන්නේ නෑ ඔබ ඔබේ යාළුවෝ එක්ක නිතර කතා නොකලත් ඔවුන්ගේ දුක සැප හොයනවා. ඔවුන් දුකෙන්, අසහනයෙන් ඉන්නවා කියලා හිතලා ඔබ ඔවුන් වෙනුවෙන් සති අන්ත නිවාඩුවක් වෙන්කරනවා කොහේ හරි නිවාඩු නිකේතනයක. ඔබ හිතන්නේ ඔවුන්ව සතුටින් තියන්න. ඒත් ඔබේ යාළුවන්ට ඒකවත් පිළිගන්න බෑ. ඔවුන්ට එහෙම සති අන්ත නිවාඩු වලට කරන්න බොහෝ වැඩ තියෙනවා. යාළුවන්ට උදව් කරන්න, සමහර අයට බඩේ කැක්කුම, තවත් අයට කාගේ හරි හිත රිදවන්න බෑ වගේ දාහක් හේතු. ඒත් ඒ කිසිම කෙනෙක් ඔබේ හැඟීම අගය කරනවද, නෑ එහෙම ඔබ ඒ අය වෙනුවෙන් කරන දේට ගරු කරන්න ඔවුන් නිදහස් නෑ.



       ඔබ හැමෝම වෙනුවෙන් හිතන කෙනෙක්. . ඒත් ඔබට යම් කරදරයක් වුනාම, ඔබ අසනීප වුනාම උදව් කරන්න නැතත් ඔබට කොහොමද අහන්න ඔබත් එක්ක ඉන්නෙ කීයෙන් කීදෙනාද? ඒකත් අරයාට එයිට වඩා කරන්න පුළුවන් කියලා හිතන ඔබේ යහළුවන් කීදෙනෙක් නම් ඉන්නවද? ඔවුන්ට මුදල්වත් වියදම් වෙන්නේ නැති පුංචි මැසේජ් එකක්වත් ඔබට එවන්න බෑ. ඔවුන්ට ඊට වඩා බොහෝ දේවල් තියෙනවා කරන්න. ඒත් ඔබ හැමවෙලේම ඔවුන් ගැන හොයනවා.ඔවුන්ට ආදරේ කරනවා. කොටින්ම ඔබේ ආදරය මේ හැම යාළුවටම එකම විදියට.

     කෙනෙක් අනෙකාගේ හැඟීම් එක්ක සම්බන්ද නොවුන තැන හොඳ යාළුකමක් තියෙන්න බෑ නේ. තවදුරටත් ඔබේ පැත්තෙන් විතරක් එහෙම යාළුකම් තියාගන්න ඕනෙද කියලාත් ඔබ කල්පනා කරනවා. ඔබට වඩා වටිනා කියන මිනිස්සු ඒ අයට ඉන්න එක ඔබ දන්නවා. ඒකෙ අවුලකුත් ඔබට නෑ. ඔබට ඕනේ ඔබේ යහළුවන් සතුටින් ඉන්නවා දකින්න විතරමයි. එහෙම හිතලා ඔබ සදහටම ඈත් වෙලා යනවා. බැඳීම් කියන්නේ කොහොමත් දුකක් කියලා ඔබ ජීවිතයෙන්ම අත්දැකපු කෙනෙක්නේ.



  




         ඒත් ඔබ ඔවුන් එක්ක තරහා වෙන්නේවත් අමනාප වෙන්නේවත් නෑ. ඔවුන්ට ඕනේම දවසක ඔබ ඔවුන් වෙනුවෙන් ඉන්නවා.

Wednesday, September 18, 2013

ආයෙත් එන්නම්......

 
           ඔබ ගැන මතක තාමත් මගේ හිත රිදවනවා. හැමෝම කියන හින්දා විතරක්ම ඒ හැඟීම් එලියට දැම්මේ නැතිවුනාට තනිවෙච්ච ගමන් නිදහසේ මතක පාරේ යන්න දෙපාරක් හිතන්න ඕනේ නෑ. ඔබ හිටියේ අතීතයක විතරයි කියලා මගේ හිත පිළිගන්න මම තවමත් ලෑස්ති නෑ. ඔව් ඔබ කොහොමද අතීතයට විතරක් අයිති වෙන්නේ.......... ?

         

  
     පාරක් පාරක් ගානේ ඇවිදගෙන යනකොට මට මතක් වුනේ ඔබව. මීට කලින් කොයිම වෙලාවකවත් මට  ඔබ නැති අඩුවක් දැනිලා තිබුනේ නෑ. සමහරවිට ඔබට වඩා මගේ හිත අයිති කරගත්ත කෙනෙක් ඉන්න ඇති.  එහෙමත් නැත්නම් ඔබ එක්ක ඇවිද ගිය තැන් බොහොම සීමිත හින්දා මට ඒ අඩුව දැනෙන්න නැතිව තියෙන්නැති. ඒත් මෙදා එහෙම වුනේ නෑ. වෙනදාට වඩා ඔබ නැති අඩුව හැමතැනදිම දැනුනා.

   ඔබට කලින් යන්න හිටපු මම ඔබ ගියාම ඔබව හොයාගෙන ආවා. මම ආවේ ඔබට සමුදෙන්න වුනත් එහෙම එකක් වුනේ නෑ. හැමෝම ඈත් වෙලා ඔබෙයි මගෙයි විතරක්ම වුන ඒ මොහොත හරිම ශෝචනීය වුනා. මම ඔබත් එක්ක කොයි තරම් නම් තරහකින් හිටියාද කියලා මට තේරුනේ ඒ මොහොතේ. ඔබට සමුදෙන්න,   ආයේ අපි මුණ ගැහෙන්නේ නෑ කියන්නේ කොහොමද මම,  ඔයා ගිහින් කියලා පිළිගන්න මගේ හිත අකැමැති වෙනකොට..........!  ඒ වෙලාවේ අඳුරත් එක්ක ආව හින්දා ඔබට මගේ කඳුළු නොපෙනෙන්න ඇති. ඒත් ඔබ අයිති ලෝකේ කඳුළු මට වඩා වේගවත් වුනා. ඔබ වෙනුවෙන් ඔබට සමුදෙන්න ලස්ති වෙලා ආව ඉටි පහනක්වත් දැල්වෙන්න නොදී අහස හඬද්දි මට තේරුනා   දෙවියන්ගේ ලෝකයේ  ඇස් ඒ මොහොතේ අපි දිහා යොමු වෙලා කියලා. ඒ තරමට ඒ මොහොත වේදනාත්මක වෙන්න ඇති කාටවත් දරා ගන්න බැරි තරම්.

      මේ  වෙද්දි ඔබ විතරක් නෙමෙයි තවත් බොහෝ දේවල් මගෙන් සදහටම ඈත් වෙලා. එහෙම නැත්නම් මම ඈත් කරලා. සමහරවිට කලින් කරන්න තිබුන දේවල් පරක්කු වෙලා කරන්න ඇති. ඒත් ඒ මොහොතේ ගන්න තිබුන හොඳම තීරණේ ඒ කියන්න ඔබට තේරෙනවා ඇති. ඔබ විතරක් නෙමෙයි අපි කාටවත් ම කවුරුවත් අයිති නෑ කියලා නිදහසේ හිතන්න දැන් මට පුළුවන්. ඔබත් එක්කම ඔහුත් ගියේ එහෙම. සමාවෙන්න කලින් එහෙම කරන්න ශක්තියක් මට නැති වුනාට. දැන් මම නිදහස්.  බැඳීම් කිසිම දෙයක් නැති නිදහස්ම නිදහස් කෙනෙක් වෙන්න ඔබේ සමුගැනීම මේ තරම් ආශිර්වාදයක් වුනේ කොහොමද කියන්න මම දන්නේ නෑ. ඒ මගේ අතින් වැරදි වුනා කියලා තව දුරටත් වැරදි කලයුතු නෑ කියලා වෙන්න ඇති.

          ඔබ ගැන හැමෝම එක එක දේවල් කියනවා. ඔබ මිනිසුන් අතර හිටිය දෙවි කෙනෙක්ලු. ඔබට අයිතිකාරයෝත් බොහෝමයි. මම කවදාවත් ඔබේ අයිතිකාරයෙක් වෙන එකක් නෑ නීතියෙන් හෝ ලෝකෙට පේන්න ඔබ මෙහේ හිටියත්. ඒත් ඔබ මගේ ජීවිතය පුරාම හිටපු කෙනෙක්. (ඉන්න කෙනෙක් කියලා මට තවමත් හිතුනාට මට එහෙම හිතන්න තහනම් කරලා හැමෝම) ඔබේම අය, ඔබ වෙනුවෙන් බෙදා ගන්න බැරි දේවල් හොයද්දි මට ඔබ වෙනුවෙන් දැනෙන්නේ ඔබේ ආත්මීය බැඳීම පමණමයි. ඔබේම, මගේම, අපේම යාළුවෝ ආදර සම්බන්දතා හා එකී නොකී දාහක් දේවලට නිර්වචන දෙද්දි මම තවම ඔබට ආදරය කරනවා. ඒ ආදරය මිය යන එකක් නෙමෙයි. ඔබ කොහේ හිටියත්, මා කොහේ හිටියත් ඒ ආදරය මිය යන්නේ නෑ. ඒක සදාකාලික ආදරයක්.

විදුලියත් එක්ක එන ඔබ?
     වෙනදා වගේම එහේ මෙහෙ ඇවිදලා මහන්සි වෙලා ගෙදර ආවට රෑ කළුවරත් එක්කම මට ඔබේ උණුසුම දැණුනේ නැති වුනාම මම අවුල් නොවුන දවසක් නැති තරම්. වෙනදාට ඔබ එනකම් පාර බලාගෙන ඉන්න එක හරි කරන්න පුළුවන් වුනානේ. ඒත් පසුගිය කාලේ එහෙමවත් කරන්න පුළුවන්කමක් තිබුනේ නෑ. ඒ වේදනාව වචන කරන්නේ කොහොමද මම, වචන වලට නොදැනෙන ඕන තරම් දේවල් තියෙද්දි. ආපහු කවමදාකවත් ඔබේ උණුසුම හීනෙන් මිසක් හැබෑවට මට දැනෙන්නේ නෑ කියලා මම  දන්නවා. ඒත් ඔබ ඉන්න හීනෙක වුනත් උණුසුමක් තියෙනවා කියල මට දැනෙනවා. ඔබ මේ තරම් ඉක්මනට නොගියා නම් තව කොයිතරම් දේවල් අපිට ලබන්න තිබුනද?
 
      එකම එක පාරක් හිනාවෙලා මම යන්නම් කියලා නොකිය ගිය ඔයා වගේම, ඔබට සමුදෙන්න හිත හදාගෙන ආවට ඔබ ඉන්න පරිසරය දැක්කම එහෙම කරන්න හිතේ ශක්තියක් නැති වෙච්ච මම ගැනත් මම තවම ඉන්නේ තරහින්. ඔබේ අහිංසක හිනාව පිරී මූණ එක පාරක් දැකලා ඔබට සමුදෙන්න මට පුළුවන් වෙන්නෑ කියලාත් මම දන්නවා. ඒත් කවදහරි දවසක ආයෙත් මම ඔයාව හොයාගෙන එනවා. එදාට මීට වඩා ආත්මශක්තියක් මට තියේවි. ඒ දවස හෙට අනිද්දා නම් එන එකක් නෑ   රත්තරන්   !!!!!!!!!!


     
       
     

Monday, July 15, 2013

ප්‍රේමයේ නාමයෙන් මට සමාවෙන්න ........


ඔබ යන්නම ගිහින්.......

  යනවා කියලාවත් නොකියා  ආයෙත් නො එන්නම ඔබ ගිහින්.

       අපි ජීවිතයේ කවරදාකත් මුණගැහෙන්න හිටි මිනිස්සු නෙමෙයි. එකම එක දවසක් ඔබගේ පින්තූරයක් දැකපු මම ඔබට සමානම පුද්ගලයා එක්ක තිබුන බැඳීමට අත්වැල් හෙව්වේ මේ තරම් වේදනවක් විඳින්න නම් නෙමෙයි. සමහරවිට ඒක කුතුහලය මිශ්‍ර හැඟීමක් වෙන්න ඇති. ඒත් අපි නොහිතුව දේවල්ම මේ ලෝකේ වෙන හින්දමද කොහෙද ඔබයි මායි බොහොම හොඳ යාළුවෝ වුනා. කාලයක් ගිහින් ඒ යාළුකම ඊට වඩා බොහෝම බරපතල සම්බන්දතාවයකට පෙරළුනාමත් මම ඔබෙන් ඉල්ලුවේ කවදාටත්, මොනම දේ උනත් අපි හොඳම හොඳ යාළුවෝ වෙන්න ඕනේ කියන එක විතරමයි. ඇත්තම හීනයක වගේ මම ඔබත් එක්ක, හීන නොවිච්ච හීනයක ඈතට ඈතට ගියේ ජීවිතේ මේ තරම් දරාගන්න බැරි දුකක් ඔබ හින්දා ලබන්න බලාගෙන නම් නෙමෙයි. වෙන ප්‍රේමවන්තයන්ට වඩා අපේ ප්‍රේම කතාව බොහෝම සැහැල්ලුවෙන් වගකීම් වලින් තොරව ගෙවන්න අපි දෙන්නටම ඕන වුනා වෙන්නත් ඇති. ඒ වෙනකොට මම හිටියේ ප්‍රේමයෙන් විඳින්න ඕන ඔක්කොම දුක් විඳලා හින්දා, ඔබයි මමයි අතරෙදි මම මටම දාගත්ත කොන්දේසි බොහොම සීමිත කාලෙකින්ම වෙනස් කරන්න මට සිදු වුනා. ඔව් ඒක මම ආදරේ කියන සීමාව අස්සේ මගේම කරගත්තු ආදරයක් වුනේ ඇසිපිය ගහන්නත් කලින්. ඒ තරමටම ඔබ සුන්දර ප්‍රේමවන්තයෙක් වුනා. කොහේ ගියත් මගේ හිත නතරවුන සංසාරේ එකම මගක ආව පුද්ගලයාගෙන් ඈත් වෙලා මම ඔබ ළඟට ආවේ, මටවත් එහෙම දෙයක් වෙන්න පුළුවන් කියන විශ්වාසයෙන් නෙමෙයි. කවරදාකවත් කාගෙවත් ළඟ නතර නොවූ මගේ හිත ඔබ අයිති කරගත්තේ උපන් තැන ඉඳන්ම ඒ බැඳීම ප්‍රශ්න පත්තරයක් කරමින්.

     කොහොමටත් සීනි බෝල ආදර කතා වලට මගේ ජීවිතේ ඉඩක් තියාගන්න මට පුළුවන්කමක් තිබුනේ නෑ. අපි දෙන්නා අතර තිබුන නොගැලපීම් වගේම ගැලපීම් එක්ක මම අනන්තවත් ඒ ආදරය ගැන අවුල් වුන එක පුදුමයකුත් නෙමෙයි. ගෑණියෙක් මිනිහෙක් එක යහනක නිදාගත්ත පමණින්ම ආදරේ ඒක ජීවිතේ කියන්න තරම් සීනි බෝල කතා මට කවදාවත් තිබිලා නෑ. වටිනාම දේ උනේ ඔබ ආදරය ලබන්න වගේම ආදරය කරන්නත් දැනගෙන හිටපු කෙනෙක් වුන එක. එහෙම නොවුනා නම් මම ඔබ ළඟ නතර වෙන්නේ නෑ කියලා මම ඉර හඳ වගේ විශ්වාස කරන දෙයක්. ඔබ ලාංකීය සමාජේ ඉන්න රාමුවකට කොටු වුන මිනිහෙක් නොවුන එකම මගේ හිත දිනාගන්න මූලිකම හේතුවක් වෙන්නත් ඇති. සමහරවිට ඒ ඔබයි මමයි අතර තිබුන තේරුම් ගැනීමේ හා බෙදාගැනීමේ හැකියාව හින්දා වෙන්නත් පුළුවන්. කාගෙවත් ළඟ ආපහු ආදරේ හින්දා දිය නොවෙන්න හිටපු මම ක්ෂණයකින් ඔබ ඉස්සරහා දිය වුනේ හරියට උණුවතුරට දාපු හිම බෝලයක් වගේ.....

    රෑ එලිවෙනකම් ඔබ නිදි අතරේ ඔබ දිහා බලාගෙන හිටපු මම ඒ හැම අවස්ථාවකදිම කල්පනා කලේ අපි කොහේ කොතනක නතර වෙන අයද කියලා. ලෝකේ දෙපැත්තක හිටපු අපි දෙන්නා, රැකියා තත්වයන් මත එකම තැනකට ගන්න දෙවියන්වහන්සේටවත් පුළුවන්කමක් නෑ කියන එකත් මම දැනන් හිටියා. ඒ හැම වෙලාවකම මගේ අසරණකම මම දරාගත්තේ ඔබට වැඩි පුර ලංවෙලා. පූස් පැටියෙක් වගේ මම ඔබේ උණුසුමට තුරුල් වුනේ දරාගන්න බැරි තරම් මම ඔබට ආදරෙ කල හින්දමයි. මටත් හොරෙන් ඒකට මම නිර්වචන දුන්නා. ඔව් කොල්ලෙක් ඉස්සරහා, කොල්ලෙක් හින්දා, පසු තැවෙන තීරණ ගන්න එක මම නතර කරලා හිටියේ. ඒත් ඔබත් එක්ක ඒවත් මටම කරගත්ත බොරු පොරොන්දු වුනා. ඒත් හදවතට එහා ගිහින් බුද්ධියෙන් වැඩ කරපු එකම තැන එතනද කොහෙද හින්දා මට වැරදුනා වෙන්නැති. ඔබ මගේ කරගන්න, ඔබ ළඟින් ඉඳන් මගෙ කරගන්න මට කරන්න පුළුවන් එකම දේ වුනේ ඔබ ඉන්නා තැනකට වසරකට කිහිප පාරක් වැඩි පුර පියාඹන එක විතරමයි.  අවුරුදු ගණනාවක් පුරා මම ඔබව හොයාගෙන ආවේ මටත් වඩා මම තේරුම් නොගත් මගේ ආදරය ඔබ අරන් ගිහින් තිබුන හින්දා.
       ඒත් හැමදාම වගේ ජීවිතේ මට හීන ගෙනත් දීලා මගේ ඉස්සරහාම පොලවේ ගහන්නේ කෑලි හොයාගන්නවත් බැරි තරම් මාව අවුල් කරලා කියලා මම හැමදාම දැනන් හිටපු දෙයක් නේ. ඔබ වෙනදා වගේම ඇවිත් මට ඈත් වෙන්න නොදී මාව ඇදලා තියාගත්ත රික්තයක් නොවුනා නම්..... අන්තිම මොහොතේ ඇවිත් අපි තීරණයක් ගමු නොකීව නම්...... ඔබේ නිදහසට වචනයකින්වත් බාධා නොවුන මම මේ තරම් අවුල් වෙන එකක් නෑ. හෙට අනිද්දට ඔබව හොයාගෙන එන මට ඔබ නැතිව ඔබේ ගෙදරට යන්න, ඔබ නෑ කියලා පිළිගන්න බෑ කියන එක කොයි ලෝකේ හිටියත් ඔබට නොතේරි තියෙන්න බෑ ......

        මම ඔයාට ගොඩාක් වැරදි කලා. ඒත් එකක්වත් මම කලේ දැනගෙන නෙමෙයි. ඔබට සමානම පුද්ගලයා මගේ හිතේ හැමදාම ජීවත් වුන හින්දා ඒ ඔබද, ඔහුද කියලා තේරුම් ගන්න බැරිව මිසක් අසාධාරණයක් කරන්න බලාගෙන නෙමෙයි. අනේ රත්තරන් මට සමාවෙන්න ඒකට. ඔයා හැරි හැරි එන හැම වෙලාවකම මම අවුල් වුනේ මම ඔයාගේ බලාපොරොත්තු එක්ක එකඟ නොවුනේ ඇයි කියන එක ඔයාට වඩා තව තේරෙන කෙනෙක් ඉන්න එකක් නෑ. මට සමා වෙන්න ඔබට බලාපොරොත්තු දීලා ඒ ගැන වගකීමක් නොගත්තට. හීන පස්සේ දුවලා මට මහන්සි වෙලා හිටියේ රත්තරන්. ඒකයි ඒ හැමදේම එහෙම වුනේ......

      ඔයාට කියන්න, ඔයාත් එක්ක බෙදාගන්න මට තව බොහෝ දේවල් තියෙනවා. හෙට අනිද්දට ඔයාගේ ඉස්සරහට ආවම වෙනදා වගේම හිනාවෙලා මාව අවුල් කරත් මාව ආදරෙන් පිළිගන්න ඔබට පුළුවන් නේද? අපේ බැඳීම ඔබේ වචනත් එක්කම සංසාරෙන් එන එකක් වෙන්න ඇති. ඔබ කියපු බුදු දහම මට තාමත් තේරෙන්නේ නැති වුනාට දවසින් දවසට මම ඒ වචන පස්සේ යනවා නැත්නම් මම ඔබ අපි අපිට මේ දේවල් දරාගන්න පුළුවන් වෙන එකක් නෑ. ඔව් බැඳීම් නැති හෙටක් ගැන මාත් ඔබ පස්සේම එන්නම් වෙනදා වගේම ආදරෙන්.....