අපි ආදරේ කරන කීදෙනෙක් අපිව හරියටම
තේරුම් ගන්නවද කියලා මම මේ අන්තිම කාලේ ටිකක් ගැඹුරට හිතන්න පෙළඹුනා.
සමහරවිට මේ ගෙවුන කාලේ සමහර සිදුවීම් එක්ක එහෙම හිතන්න මාව පොළඹවන්න ඇති.
කොයිදේ කොහොම උනත් හැංගිලා කාටවත් හොරෙන් කරන්න අපි හැමෝටම හැකියාවක් නෑ.
මම වගේ කෙනෙකුට ඒක කොහොමටවත් කරන්න උවමනාවකුත් නෑ. සිදුවීමෙන් සිදුවීමට
ඇනලයිස් කරන්න නොගියාට යම් යම් සිදුවීම් ටිකක් මගේ හිතට තදින් වද දුන්නා.
ප්‍රේමවන්තයෙක් මඟ හැර යාම.
ප්‍රේමවන්තයෝ මඟහැර යන එක ටිකක් දුරට හිතන්න ඕනේ කාරණයක් ....
උදේ රෑ දුරකතනයෙන් කතා කලාට ඔබත් එක්ක දුක සැප බෙදාගත්තාට ඔහුගේ ඇයගේ
පෞද්ගලික ජීවිතේ හැමදේම දැනගෙන හිටියාට හරියටම කෙලින් ඒවා කියන්නේ නෑ
ලේසියකට ප්‍රේමවන්තයෝ.
"මේ ඔයාට කෙල්ලෙක් ඉන්නවද" කියලා අහන්නයැ අපි වුනත්?
අනිත් එක බැරි වෙලාහරි ඕකට ලැබෙන උත්තරය අපේ හිත රිදෙන උත්තරයක් වෙයි කියලාත් හිතෙනවා නම් නොඅහා ඉන්න එක හොඳයිනේ.
අපේ හිත රවටගන්නවා වුනාට ඒකත් එක්තරා විදියක සැනසීමක් තමයි. ක්‍රශ් එකක් තියාගෙන ඔය අනිත් අනන්මනන් නොදැන ඉන්න තරමට හොඳයි.
ඒත් හැමවෙලේම ඒක කරන්න බෑ.
හිටි
ගමන් ඔබට ඕනෙවෙනවා ඔබේ හිත කොයිතරම් ශක්තිමත්ද කියලා දැනගන්න. ඒ වෙලාවට ඔබ
කරන්නේ අර කවරදාවත් නොඅහන්න, නොදකින්න බලාපොරොත්තු වෙන දේවල් වලට
ක්ෂණයකින් යොමුවීම.
ඒ වගේ වෙලාවට ඔබට හරියටම තේරුම් ගන්න පුළුවන්
කවුද ශක්තිමත් කියලා. ඒත් පසුවට දුකක්, කළකිරීමක් නැතිවෙන්නේ නෑ. ඒත් ඔබට,
ඔබව තේරුම් ගන්න, ඔබ ආදරය කරන පුද්ගලයාව තේරුම් ගන්න මේ දේවල් බොහෝ උදව්
වෙනවා.
යාළුවන්ගේ නොසලකාහැරීම්
ඔබේ සමහර යාළුවන්ට ඔබ අනිත් හැමෝටම වඩා ආදරේ වෙන්න පුළුවන්නේ. එහෙම වෙන්න
සමහර හේතු තියෙනවා. සමහරවිට ඒ යාළුවෝ ඔබට විශේස පුද්ගලයෝ වෙන්නේ ඒ
යාළුවන්ගෙනුත් ඔබට තියෙන බැඳීමමත. අර ප්‍රේමවන්තයෝ වගේම තමයි මේ අයත්
දුරකතනයකින් මම උඹට ආදරෙයි, ලෙංගතුයි කියලා කීවට ළඟට ගියාම ඒ ආදරේ,
ලෙංගතුකම දැකගන්න නෑ. සමහර අය සංස්කෘතික රාමුවල හිර වෙලා ලෝකයා හිනාවෙයි
කියලා බයට. ඇයි ශ්‍රී ලංකාව වගේ රටක කෙල්ලෙක් තව කෙල්ලෙකුට හරි, පොඩි
එකෙකුට හරි, අම්මෙකුට තාත්තෙකුට හරි, සහෝදර සහෝදරයෙකුට හරි, ආදරෙයි කියන එක
කුනුහරුපයක් වගේ. එහේ ආදරේ කියන වචනය භාවිතා වෙන්නේ කොල්ලෙක් හෝ කෙල්ලෙකු
අතර විතරමයි. අතින් අල්ලන්න පුළුවන්, හග් කරන්න පුළුවන්කමක් තියෙන්නෙත්
ඒවගේ විෂම ලිංගිකයෝ අතර විතරමයි. එහෙම නොවෙන උන් ලෙස්බියන්ලා.(එහෙම නැත්නම්
සමාජය එහෙම හිතයි කියලා සංස්කෘතික රාමුවෙන් වැහිලා හැංගෙන්න ඕනේ)
කාට කියන්නද මේ අවනඩු?
බැරි වෙලාවත් කොළඹ රටේ කෙල්ලෙක්ව අතින් අල්ලලා හග් කරලා අහු වෙන්න එපා. එහෙම වුනොත් ඔබ සමලිංගිකයෙක් වෙලා.
තවත් සමහර අය තමන්ගේ යාළුවෝ මුණගැහෙන්න කැමති කාටවත් නොදැනෙන්න. ඒ
කියන්නෙ ඒක හරියට රහස් සම්බන්දතාවයක් වගේ. ෆේස්බුක් එකේ ෆොටෝ එකක් දාන්න
බෑ, බ්ලොග් එකක හරි කොහේ හරි ඔවුන් ගැන සටහනක් ලියවෙන්න බෑ මේ අය හරිම
අසහනයට පත්වෙනවා. සමහරවෙලාවට නිදහසේ හුලං ටිකක් වදින්න මුහුදක් අයිනට ගියත්
අනේ අරයා දකියි, මෙයා දකියි, ඊට පස්සේ මම ඔයත් එක්ක හිටියා කියලා හැමෝටම
කියයි කියලා ඔබව අපහසුතාවයට පත්කරනවා. ඒ අය හැම වෙලේම හිතන්නෙ ඔවුන් ගැන
විතරමයි. ඒකෙන් ඔබ පත්වෙන අපහසුතාවය ගැන ඒ යාළුවන් හිතන්නේ නෑ. ඔබට මුහුදක්
අයිනට ගියාම දැනෙන සැනසීම විඳගන්න ලැබෙන්නේ සීමිත කාලයක් වෙන්න පුළුවන්.
සමහරවිට අවුරුද්දකට දවස් තුනක් හතරක් වෙන්නත් පුළුවන්. ඒත් මේ වගේ දේවල්
හින්දා තමාගේ යාළුවගේ ඒ විඳීම නැති කරන එක ගැනවත් මේ අයට කල්පනාවක් නෑ.
ඔබ ඔබට යමක් මිළට ගන්න හැමවෙලේම හිතනවා මේක ඔබගෙ යාළුවටත් ගැලපෙනවද
කියලා. ඒත් ඒ මොහොතෙම ඔවුන්ට ඒක ලබාදෙන්න ඔවුන් ඔබ ළඟ නෑ. එවිට ඔබ කරන්නේ
බොහොම ආසාවෙන් ඔවුන් වෙනුවෙන් යමක් මිළදී අරන් ඒක ගෙනිහින් ඔබේ යාළුවට දෙන
එක. ඒ දෙන්නේ ඔවුන් ඒක ආදරෙන් බාරගනීවි කියලා හිතාගෙන. ඒත් ඔබ දකින්නේ නෑ
ඔවුන් ඒ දේ ආදරෙන් පළඳිනවා හෝ ඇඟළනවා. ඔබට දුක හිතෙනවා. ඒත් ඔබ යමක්
කියන්නෙ නෑ ඒ ඔවුන්ගෙ කැමත්ත කියලා හිතලා.
ඒත් ඔබ කොයි තරම් නම් ආශාවෙන්ද ඒක ඔවුන් වෙනුවෙන් ලබා දුන්නේ? ඔබගේ සතුට තේරුම් ගන්න ඒ අයට බෑ.
ඒත් ඔවුන් ඔබට යමක් දීපුවම ඔබ ගිහින් හැමෝටම කියනවා මේක මට දුන්නේ
අහවලා කියලා. ඒ විතරක් නෙමෙයි ඔබ ඒක නිතර ඇඟලනවා. ඔබ ඒ කරන්නේ සතුට ඉහවහා
ගිහින්. ඔබට වටිනා යාළුවෝ ඉන්නවා කියලා ඔබ හැමවෙලේම සතුටු වෙනවා. ඒ විතරක්
නෙමෙයි ඔබ හැමවෙලේම ඔවුන්ට ස්තූති කරනවා. ඔබට කවදාවත් කාගෙන්වත් යමක් ලැබුන
කෙනෙක් නෙමෙයි වගේ ඔවුන්ව අගය කරනවා. ඒත් ඔවුන් ඔබට කියන්නේ ඔවුන් ඒකෙන්
අපහසුතාවයට පත්වෙන බවයි. කොටින්ම ඔබේ යාළුකම ඔවුන්ට කරදරයක් වෙලා.
ඒත්, ඔබ නතර වෙන්නේ නෑ ඔබ ඔබේ යාළුවෝ එක්ක නිතර කතා නොකලත්
ඔවුන්ගේ දුක සැප හොයනවා. ඔවුන් දුකෙන්, අසහනයෙන් ඉන්නවා කියලා හිතලා ඔබ
ඔවුන් වෙනුවෙන් සති අන්ත නිවාඩුවක් වෙන්කරනවා කොහේ හරි නිවාඩු නිකේතනයක. ඔබ
හිතන්නේ ඔවුන්ව සතුටින් තියන්න. ඒත් ඔබේ යාළුවන්ට ඒකවත් පිළිගන්න බෑ.
ඔවුන්ට එහෙම සති අන්ත නිවාඩු වලට කරන්න බොහෝ වැඩ තියෙනවා. යාළුවන්ට උදව්
කරන්න, සමහර අයට බඩේ කැක්කුම, තවත් අයට කාගේ හරි හිත රිදවන්න බෑ වගේ දාහක්
හේතු. ඒත් ඒ කිසිම කෙනෙක් ඔබේ හැඟීම අගය කරනවද, නෑ එහෙම ඔබ ඒ අය වෙනුවෙන්
කරන දේට ගරු කරන්න ඔවුන් නිදහස් නෑ.
ඔබ හැමෝම වෙනුවෙන් හිතන කෙනෙක්. . ඒත් ඔබට යම් කරදරයක් වුනාම, ඔබ අසනීප
වුනාම උදව් කරන්න නැතත් ඔබට කොහොමද අහන්න ඔබත් එක්ක ඉන්නෙ කීයෙන් කීදෙනාද?
ඒකත් අරයාට එයිට වඩා කරන්න පුළුවන් කියලා හිතන ඔබේ යහළුවන් කීදෙනෙක් නම්
ඉන්නවද? ඔවුන්ට මුදල්වත් වියදම් වෙන්නේ නැති පුංචි මැසේජ් එකක්වත් ඔබට
එවන්න බෑ. ඔවුන්ට ඊට වඩා බොහෝ දේවල් තියෙනවා කරන්න. ඒත් ඔබ හැමවෙලේම ඔවුන්
ගැන හොයනවා.ඔවුන්ට ආදරේ කරනවා. කොටින්ම ඔබේ ආදරය මේ හැම යාළුවටම එකම
විදියට.
කෙනෙක් අනෙකාගේ හැඟීම් එක්ක සම්බන්ද නොවුන තැන
හොඳ යාළුකමක් තියෙන්න බෑ නේ. තවදුරටත් ඔබේ පැත්තෙන් විතරක් එහෙම යාළුකම්
තියාගන්න ඕනෙද කියලාත් ඔබ කල්පනා කරනවා. ඔබට වඩා වටිනා කියන මිනිස්සු ඒ
අයට ඉන්න එක ඔබ දන්නවා. ඒකෙ අවුලකුත් ඔබට නෑ. ඔබට ඕනේ ඔබේ යහළුවන් සතුටින්
ඉන්නවා දකින්න විතරමයි. එහෙම හිතලා ඔබ සදහටම ඈත් වෙලා යනවා. බැඳීම් කියන්නේ
කොහොමත් දුකක් කියලා ඔබ ජීවිතයෙන්ම අත්දැකපු කෙනෙක්නේ.
ඒත් ඔබ ඔවුන් එක්ක තරහා වෙන්නේවත් අමනාප වෙන්නේවත් නෑ. ඔවුන්ට ඕනේම දවසක ඔබ ඔවුන් වෙනුවෙන් ඉන්නවා.