Wednesday, September 18, 2013

ආයෙත් එන්නම්......

 
           ඔබ ගැන මතක තාමත් මගේ හිත රිදවනවා. හැමෝම කියන හින්දා විතරක්ම ඒ හැඟීම් එලියට දැම්මේ නැතිවුනාට තනිවෙච්ච ගමන් නිදහසේ මතක පාරේ යන්න දෙපාරක් හිතන්න ඕනේ නෑ. ඔබ හිටියේ අතීතයක විතරයි කියලා මගේ හිත පිළිගන්න මම තවමත් ලෑස්ති නෑ. ඔව් ඔබ කොහොමද අතීතයට විතරක් අයිති වෙන්නේ.......... ?

         

  
     පාරක් පාරක් ගානේ ඇවිදගෙන යනකොට මට මතක් වුනේ ඔබව. මීට කලින් කොයිම වෙලාවකවත් මට  ඔබ නැති අඩුවක් දැනිලා තිබුනේ නෑ. සමහරවිට ඔබට වඩා මගේ හිත අයිති කරගත්ත කෙනෙක් ඉන්න ඇති.  එහෙමත් නැත්නම් ඔබ එක්ක ඇවිද ගිය තැන් බොහොම සීමිත හින්දා මට ඒ අඩුව දැනෙන්න නැතිව තියෙන්නැති. ඒත් මෙදා එහෙම වුනේ නෑ. වෙනදාට වඩා ඔබ නැති අඩුව හැමතැනදිම දැනුනා.

   ඔබට කලින් යන්න හිටපු මම ඔබ ගියාම ඔබව හොයාගෙන ආවා. මම ආවේ ඔබට සමුදෙන්න වුනත් එහෙම එකක් වුනේ නෑ. හැමෝම ඈත් වෙලා ඔබෙයි මගෙයි විතරක්ම වුන ඒ මොහොත හරිම ශෝචනීය වුනා. මම ඔබත් එක්ක කොයි තරම් නම් තරහකින් හිටියාද කියලා මට තේරුනේ ඒ මොහොතේ. ඔබට සමුදෙන්න,   ආයේ අපි මුණ ගැහෙන්නේ නෑ කියන්නේ කොහොමද මම,  ඔයා ගිහින් කියලා පිළිගන්න මගේ හිත අකැමැති වෙනකොට..........!  ඒ වෙලාවේ අඳුරත් එක්ක ආව හින්දා ඔබට මගේ කඳුළු නොපෙනෙන්න ඇති. ඒත් ඔබ අයිති ලෝකේ කඳුළු මට වඩා වේගවත් වුනා. ඔබ වෙනුවෙන් ඔබට සමුදෙන්න ලස්ති වෙලා ආව ඉටි පහනක්වත් දැල්වෙන්න නොදී අහස හඬද්දි මට තේරුනා   දෙවියන්ගේ ලෝකයේ  ඇස් ඒ මොහොතේ අපි දිහා යොමු වෙලා කියලා. ඒ තරමට ඒ මොහොත වේදනාත්මක වෙන්න ඇති කාටවත් දරා ගන්න බැරි තරම්.

      මේ  වෙද්දි ඔබ විතරක් නෙමෙයි තවත් බොහෝ දේවල් මගෙන් සදහටම ඈත් වෙලා. එහෙම නැත්නම් මම ඈත් කරලා. සමහරවිට කලින් කරන්න තිබුන දේවල් පරක්කු වෙලා කරන්න ඇති. ඒත් ඒ මොහොතේ ගන්න තිබුන හොඳම තීරණේ ඒ කියන්න ඔබට තේරෙනවා ඇති. ඔබ විතරක් නෙමෙයි අපි කාටවත් ම කවුරුවත් අයිති නෑ කියලා නිදහසේ හිතන්න දැන් මට පුළුවන්. ඔබත් එක්කම ඔහුත් ගියේ එහෙම. සමාවෙන්න කලින් එහෙම කරන්න ශක්තියක් මට නැති වුනාට. දැන් මම නිදහස්.  බැඳීම් කිසිම දෙයක් නැති නිදහස්ම නිදහස් කෙනෙක් වෙන්න ඔබේ සමුගැනීම මේ තරම් ආශිර්වාදයක් වුනේ කොහොමද කියන්න මම දන්නේ නෑ. ඒ මගේ අතින් වැරදි වුනා කියලා තව දුරටත් වැරදි කලයුතු නෑ කියලා වෙන්න ඇති.

          ඔබ ගැන හැමෝම එක එක දේවල් කියනවා. ඔබ මිනිසුන් අතර හිටිය දෙවි කෙනෙක්ලු. ඔබට අයිතිකාරයෝත් බොහෝමයි. මම කවදාවත් ඔබේ අයිතිකාරයෙක් වෙන එකක් නෑ නීතියෙන් හෝ ලෝකෙට පේන්න ඔබ මෙහේ හිටියත්. ඒත් ඔබ මගේ ජීවිතය පුරාම හිටපු කෙනෙක්. (ඉන්න කෙනෙක් කියලා මට තවමත් හිතුනාට මට එහෙම හිතන්න තහනම් කරලා හැමෝම) ඔබේම අය, ඔබ වෙනුවෙන් බෙදා ගන්න බැරි දේවල් හොයද්දි මට ඔබ වෙනුවෙන් දැනෙන්නේ ඔබේ ආත්මීය බැඳීම පමණමයි. ඔබේම, මගේම, අපේම යාළුවෝ ආදර සම්බන්දතා හා එකී නොකී දාහක් දේවලට නිර්වචන දෙද්දි මම තවම ඔබට ආදරය කරනවා. ඒ ආදරය මිය යන එකක් නෙමෙයි. ඔබ කොහේ හිටියත්, මා කොහේ හිටියත් ඒ ආදරය මිය යන්නේ නෑ. ඒක සදාකාලික ආදරයක්.

විදුලියත් එක්ක එන ඔබ?
     වෙනදා වගේම එහේ මෙහෙ ඇවිදලා මහන්සි වෙලා ගෙදර ආවට රෑ කළුවරත් එක්කම මට ඔබේ උණුසුම දැණුනේ නැති වුනාම මම අවුල් නොවුන දවසක් නැති තරම්. වෙනදාට ඔබ එනකම් පාර බලාගෙන ඉන්න එක හරි කරන්න පුළුවන් වුනානේ. ඒත් පසුගිය කාලේ එහෙමවත් කරන්න පුළුවන්කමක් තිබුනේ නෑ. ඒ වේදනාව වචන කරන්නේ කොහොමද මම, වචන වලට නොදැනෙන ඕන තරම් දේවල් තියෙද්දි. ආපහු කවමදාකවත් ඔබේ උණුසුම හීනෙන් මිසක් හැබෑවට මට දැනෙන්නේ නෑ කියලා මම  දන්නවා. ඒත් ඔබ ඉන්න හීනෙක වුනත් උණුසුමක් තියෙනවා කියල මට දැනෙනවා. ඔබ මේ තරම් ඉක්මනට නොගියා නම් තව කොයිතරම් දේවල් අපිට ලබන්න තිබුනද?
 
      එකම එක පාරක් හිනාවෙලා මම යන්නම් කියලා නොකිය ගිය ඔයා වගේම, ඔබට සමුදෙන්න හිත හදාගෙන ආවට ඔබ ඉන්න පරිසරය දැක්කම එහෙම කරන්න හිතේ ශක්තියක් නැති වෙච්ච මම ගැනත් මම තවම ඉන්නේ තරහින්. ඔබේ අහිංසක හිනාව පිරී මූණ එක පාරක් දැකලා ඔබට සමුදෙන්න මට පුළුවන් වෙන්නෑ කියලාත් මම දන්නවා. ඒත් කවදහරි දවසක ආයෙත් මම ඔයාව හොයාගෙන එනවා. එදාට මීට වඩා ආත්මශක්තියක් මට තියේවි. ඒ දවස හෙට අනිද්දා නම් එන එකක් නෑ   රත්තරන්   !!!!!!!!!!


     
       
     

1 comment:

වජිරදේවි said...

නුඹ ගිහින් - ඈතකට
මම ගිහින් - දුරකට
ගිනි අරන් - පපුවට
ගිනි සිසිල වෙනවාද?