Thursday, November 14, 2013

ප්‍රේමණිය උන්මාදය

     

      බොහෝ දේවල් වචන වලට පෙරලගන්න ඕනේ කියලා හිතිලා හුඟාක් දවස්. ඒත් ඒකට හරියටම ගැලපෙන වටපිටාව ලැබුනේ නෑ මේ දවස් වල. ගත වගේම හිතත් මොකක්දො මන්දා නොදැනෙන හැඟීමකින් ඔත්පල වෙලා. ඉස්සර වගේ නෙමෙයි මේ වයසේදි දේවල් දරාගැනිමේ ශක්තිය හීන වෙලා. කොයි තරම් ශුභාරංචි තිබුනත් හිත ඔත්පල වෙන්නේ බොහොම භයානක විදිහේ වේගයකින්.


           සමහර වෙලාවට අපි බලාපොරොත්තු නොවෙන දේවල් අපිට ලැබෙනවා. සමහරවෙලාවට අපි බලාපොරොත්තු වුන පුද්ගලයාම අපේ ඉස්සරහා. ඒත් කොහේ හරි මොකක් හරි නොගැලපීමක්. කවදාවත් නොදැකපු, නොහිතපු බාධක අපේ ජීවිතවලට මග හරස් කරයි කියලා භයානක විදියට කල්පනා වෙනවා. සමහරවිට එහෙම දේවල් ඇත්තටම සිදුවෙන එකකුත් නෑ. ඒත් කණාමැදිරි එලියෙන් බැටකාපු මිනිහා වගේ මාත් දැන් හැමදේමට බයයි. කොයි දේ කොහොම වුනත් ඔබේ ප්‍රේමය එක්ක ආපහු මට හිනා වෙන්න, ජීවිතේ යම් යම් දේවල් එක්ක සතුටින් ඉන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි වෙලාවකට ඔබ හින්දාම අනන්ත බියකුත් මට තියෙනවා. ඒ ඔබ මට අහිමිවෙයි කියලා දැන්මම මම පිළි අරන් ඉන්න හින්දා කියලා හැමෝම මට දොස් කීවට මම දන්නවා ඒ ප්‍රේමයෙන් ආතුර වෙලා ඉන්න මගෙ හිත හදාගන්න මම ගන්න එකම එක ආරක්ශක පියවරක් විතරක්ම බව. ඉස්සර මම හිතාගෙන හිටියේ ප්‍රේමයට ජාතියක්, ආගමක්, වයසක් නෑ කියලා. දැන් මට හිතෙන්නේ ඒ හැමදේම ප්‍රේම සම්බන්දතාවයකදි ලොකු බලපෑමක් කරන්න පුළුවන් කියලා. සමහරවිට මට වඩා වෙනස් විදියට අනිත් අයට දැනෙනවා ඇති. ඒත් මේ ප්‍රශ්නේ ඇලිලා ගැලිලා ඉන්න මට ඒක වෙනස් කරන්න දැන් නම් කොහොමටවත් බෑ.


    මගේ අතීත ප්‍රේමවන්තයෝ වගේම ඔබත් එක විදියකට  සමානයි. හමේ පාටින්, නිල්  ඇස් වලින්, ජාතියෙන්, වයසින් ඔබ වෙනස් වුනාට කලින් ප්‍රේමවන්තයෝ වගේම ඔබේ සමානකම් එක්ක උමතු නොවී ඉන්න හැකියාවකුත් මට නෑ. ඒ උමතුවත් එක විදිහක සුන්දරත්වයක්. උදේට නැගිට්ට ගමන් එවන ආදරේ පිරිච්ච කෙටි පණිවිඩයකට මගේ මුළු ආත්මයම අවදිකරවන්න ඔබට හැකිවෙන්නෙත් මේ සමානකම් හින්දම වෙන්න ඕනේ. ඔබේ සමහර ළාමක වැඩ දිහා බලල මට හිනා යන්නෙත් හරියට මට ඔබ තවත් එක පොඩි එකෙක් වගෙ පේන හින්දා වෙන්නත් ඇති.  සමහර වෙලාවට ඔබ මට ගරු කරන තරම මට දරාගන්නත් අමාරුයි. ඒ හැම වෙලාවකම අපේ වයසේ ප්‍රශ්නේ මගේ ඔළුවට ඇවිත් මාව ඔත්පල කරන්න ගන්න එක මට දරාගන්න බැරි තරමටම අසරණයෙක් වෙලා. ඒත් ඒක ඔබේ වරදකින් වෙන දෙයක් නෙමෙයි. ඒත් බොහෝ වෙලාවට මටම රිදෝ ගන්න මම ඔබව උත්පේරකයක් කරගෙන.   කවදාහරි දවසක අපිට වෙන් වෙන්න වුනාම ඒකට දැන්ම ඉඳන්ම මගේ හිත හදාගන්න වෙන්නැති ඒ විදියට හැඩ ගැහෙන්නේ. කොහොමත් ආදරය ගැන දැන් මගේ කියවීම බොහොම සරලයි. ඉස්සරට වඩා නිදහස් විදියට ආදරය කරන්න මට පුළුවන් වෙන්නෙත් ඒක හින්දම වෙන්න ඕනේ.
 
 
     ඒත් මේ හැම විඳීමක්ම මට නැවුම් මිහිරක් ගෙන දෙනවා.  වැඩට යන ගමන්, කාර්යාලේ ඉන්න ගමන්,  ඔබෙන් ලැබෙන පුංචි කෙටි පණිවිඩයක් මගේ මහන්සිය තෙහෙට්ටුව නිවලා දානවා. කෑම වෙලාවට, කෝපි මේස අස්සේ ඔබට ලැබෙන හැම පුංචි ඉඩකදිම ඔබට මාව මතක් වෙන එකටත් මම දැන් බොහොම ලෝභ වෙලා.   හිතලම ඔබට උත්තර නොදුන්නම ඔබ මාව හොයන හැටි ගැනත් මම උමතු වෙලා. සති අන්තේ එනකම් ඔබව මුණගැහෙන්න බලා ඉන්න එකත් කල්පයක් වගේ දැනෙන්නෙත් ඒ ආදරය මට අත්‍යාවශ්‍යම හින්දා වෙන්න ඇති. ඉස්සර වගේ යාළුවොත් එක්ක නැතිව ෆිල්ම් එකකට, නාට්‍යයකට, සංගීතයකට ඔබත් එක්ක අත්වැල් බැඳගෙන යන්න මගේ හිත රහසෙන් කෑගහනවා. වයින් වීදුරුවක් හීනියට තොලගාමින් ඔබේ කෙලවරක් නැති තාරුණ්‍යයේ කතා අහන්න, කතා කරන ඔබේ ඇස් දිහා බලන් ඉන්න තරමට මගෙ උමතුව උත්සන්න වෙලා.
   
     ප්‍රේමය කියන්නේ කොහොමත් උන්මාදයේ එක කොටසක්නේ. හැමෝටම වගේ මටත් ඒකෙන් ගැලවෙන්න බෑ. ඒත් වෙනදා වගේ කෙලවරක් නොපෙනෙන බලාපොරොත්තු මේ ප්‍රේමයට නෑ. මම දන්නවා ඔබ කවදා හරි දවසක මට අහිමි වෙනවා කියලා. ඒකේ දුර තීරණය කරන්න වෙන්නෙත් අපි දෙන්නටම නෙමෙයි. අපිට තියෙන්නේ අනිත් අයගේ තීරණ වල අවනත වෙන්න විතරමයි කියලායි මට හිතෙන්නේ. කොහොමත් අපිට අපේ සැබෑවට මුහුන දෙන්න වෙනවානේ. දෙවියන් වහන්සේ කීවත් මගේ ජීවිතය අතෑරලා දාලා ඔබව ලබා ගන්න මම කවදාවත් උත්සාහ කරන එකකුත් නෑ. ඒක මහ කාලකන්නි හැඟීමක් කියලා මම දන්නවා. ඒත් මට වඩා ඔබට ගැලපෙන ජීවිතයක් තියෙන්න ඕනේ කියලා මේ ආදරණීය උමතුව අස්සෙත් මට හිතෙනවා.
 
    මේ දේවල් ඔබට කියන්න හිතාගෙන බොහෝ දවස්. ඒත් කවදාවත්ම මට ඔබ ඉස්සරහා කියන්න බැරි දේවල් ගැන මොකටද දුක්වෙන්නේ. කවදා හරි දවසක් වෙනකම් බලාපොරොත්තු නැති, හීන නැති ප්‍රේමයක් එක්ක මා ඔබත් එක්ක ඉන්නවා. ආදරය කියන්නේ කොහොමත් සදාකාලික දෙයක් නෙමෙයිනේ. නොහිතුව මොහොතක අහම්බෙන් ආපු ආගන්තුක ඔයා වගේම මේ ආදරයත් ඒ විදියටම අහම්බෙන් යන්න යාවි. එතෙක් සතුටින් ඉන්න මට පුළුවන්. හරියම මේ දැන් ලැබුන ආදරේ පිරිච්ච ටෙක්ස්ට් එක වගේම ජීවයක් එක්ක මම ආයෙමත් ජීවත් වෙන්න පටන් අරන්........



(images by Google)

No comments: