Sunday, May 27, 2012

Double single malt please.........


   රතුම රතු පාට හොඳට සේදුව චෙරි පිඟානකුත් රතු  පාට ස්ටෝබෙරි තේ එකකුත් මගේ මේසේ උඩ.

      හරියටම ඒ දවස් වල වගේ...........
 
        ඔබයි මමයි ඈත් වුනාම මම රතු රෝස වලට වගේම රතුම රතු පාට පැණි බේරෙන චෙරි වලිනුත් රෑට නිදා ගන්න ඉස්සෙල්ල බොන්න පුරුදු වෙලා හිටපු තේ එකෙනුත් ඈත් වුනා. 

       හරියට ඔයයි මායි ඈත් වුනාම අපේ පුරුදු බෙදා ගැනීම් එක්ක මම අවුල් වෙන එක නතර කරගන්න මම මටම තහංචි දාගත්තා. ඒ වෙනුවට අපි එකට නොකලයි කියල හිතිච්ච ඕනෙම දෙයක් එක්ක සමීප වුනා. හිටි ගමන් බාර් ගානේ ගිහින් සිහිය විකල් වෙනකම්ම මොජීටෝ බොන්න, ජින් ටොනික් බොන්න මම පුරුදු වුනේ ඊට පස්සේ. ඊට පස්සේ හීගඩු පිපෙන සීතලේ පට්ට පාන්දර එලියට එමින් සිගරට් එකක් උරණ ගමන් දුම් පාවෙන හැටි බලන්නත් ඊට පස්සේ බයික් එක ක්ලබ් එක අයිනේම දාලා හිම වැටෙන සීතලේ යාළුවන්ගේ අත් අල්ලගෙන ගෙදර එන්නත් හිටි ගමන් මගේ එකට බීපු යාළුවන් එක්ක වලි දාගන්නත් පුරුදු වුනා.  මේ දේවල් අස්සේ කාටවත් නොතේරෙන හීනි සතුටක් මට දැනුනා. ඔව් මට ඕන වුනේ ඔයා අකැමති හැමදේම කරලා ඔයාට රිදවන්න. සමහර දවස් වල රෑට බයික් එක පාක් කරපු තැන හොයා ගන්න බැරි උනාම මම කෝල් කලෙත් ඔයාට. ඒක උනේ ඉබේම එතකොට ඔයා දැනගත්තා මම හොඳටම බීලා කෙලින් හිට ගන්න බෑ කියලා. එහා පැත්තෙන් ඇහෙන මොනවටද ඔහොම විනාශ වෙන්න හදන්නේ මගෙන් ඔය විදියට පලිගන්න ඔයා කොහොමද හුරු වුනේ කියලා ඇහෙන කොටත් මට දැනුනේ පට්ට සතුටක්..... .

       ඊයේ රෑ යාළුවෙක් එක්ක එලිවෙනකම් වැඩ කරලා දවල් නිදා ගත්තේ මහන්සියටත් වඩා ගණන් හදලායි කොම්පියුටර් ස්ක්‍රීන් එකක් දිහා මූණ ඔබා ගෙන ඉඳලා දැනිච්ච තෙහෙට්ටුවයි එක්ක.
 
     ඔයාට කොහොමත් මට කතා කරන්න මතක් වෙන්නෙ ඒ වගේ වෙලාවට.
 

  ඇත්තෙන්ම හීනයක් අස්සේ හිටපු මා ඔබගේ කතාවෙනුත් හීනයක්ම කියලා හිතලා.
  ඔයා හයියෙන් හිනා වෙනවා ඇහුනාමයි මට මතක් වුනේ ඔයා ෆෝන් එකෙන් එහා පැත්තේ ඉන්නේ කියලා.
 මට ඒක තේරෙද්දි වෙන්න ඕන හරිය වෙලා ඉවරයි.

   මම හෙට එනවා එයාෆෝට්.  එන්න පුළුවන්ද කියලා අහද්දිම බෑ කියන්න තරම් මගේ හිත හිතුවක්කාර වුනේ නෑ. කොහොමත් මගේ හිත දඩබ්බර වෙන්නේ හැමදාම ඔයාට විතරක් ඕන විදියට හැඩ ගැහිලා.  මම හෙට සපත්තු ගන්න ඕනේ අර අපි ඉස්සර ගිය තැනට කියලා ඔයාත් එහෙට එන්න අපි එහෙදි හමුවෙමු කිවුවේ සැබෑ සිහියෙන් නම් වෙන්නම බෑ.
     හෙට අපි අවුරුදු පහලොවකට විතර පස්සේ ආපහු අපේ මතක පාරේ හමු වෙනවා.

  මේ හැමදෙයක්ම උනේ නින්දෙන් නිසා ආපහු හිතන්න දෙයක් නෑ. වචන වෙනස් කරන්න ඔබ ඉස්සරහා හිතුවක්කාර වෙන්න මට කවදාවත් බෑ.

   ඒත් මේක මහ බරක්.......

 

          හවස දුවන්න ගියාම පාක් එක පුරාවටත් මට පෙනුනේ ඔයාව පරණ මතක අස්සේ හමු උනාම කොයි තරම් දේවල් මාව අවුල් කරයිද කියලා....
  මගේ යාළුවෙක් රතු රෝස් මල් වගයක් ගත්තා පාක් එකෙන් එලියට එන ගමන්.....
 ඒක තමයි මම හිතන්නේ ආපහු මට දරා ගන්න බැරි වුනේ...
     මහා රෑ පාන්දර කීයට ගෙදර ආවත් ඉස්සර ඔයා රෝස මලක් අරන් එන්න පුරුදු වෙලා හිටියා.
  ජීවිතේ රතුම රතු පාට රෝස මල් පිපුන කාලේ.... ඔව් ඒ කාලේ ඔයා මගේ හැම හීනකම හිටියේ මොහොතකටවත් වෙනස් නොවී....
  ඒත් අද ඒ හීන එකක්වත් මට නෑ. ඒ හීන වල හිටියේ ඔයාමයි කියලා කාලෙකින්ම මම හිතලා නෑ. ඒත් ඉස්සර වගේම මම ඔයාට ආදරෙයි. ඒ ඔයා මගේ කර ගන්න නෙමෙයි. මම ඔයාට ආදරේ හින්දා........ ඔයා මට ආදරේ හින්දා.... ඒක කොහොම කාටවත් විග්‍රහ කරන්න පුළුවන් ආදරයක් නෙමෙයි.....ඒත් ඒක පෙරුම් පුරාගෙන ආපු දෙන්නෙක්ගේ ආදර කතාවක්......

  අන්තිමට පාක් එකෙන් එලියට ආව ගමන් මාගේ යාළුවෙකුටත් නොදැනෙන්න මගේ දෙපා ඇදුනේ ක්ලබ් එකට.....

 "ඩබල් සින්ගල් මෝල්ට් ඔන් රොක්ස්......."

 "සම්තින් ටු බයිට්? "

"................. නෝ මෙන් ජස්ට් වන් මෝ ඩබල් සින්ගල් මෝල්ට් "

 ගෙදර ආවේ බඹරා වගේ.... එමින් ගමන් සිගරට් නිවුනා පත්තු වුනා....

ආව ගමන්ම චෙරි බේසමක්ම හෝදගත්තා.......    තේ එකක් හදා ගත්තා.....

  වෙනදා වගේ ඒක බෙදා ගන්න ඔයා විතරයි අඩු.....

 ඒත් ඔයා මෙතුවක් මගේ අස්සේ ජීවත් වෙනවා කියලා නොදැන හිටිය එක ගැන දුකකටත් වඩා දරා ගන්න බැරි යම් කිසි දෙයක් හිර වෙලා...............!!!!!!!!!!


 

       

   
     

 

1 comment:

Jay said...

මගේ ජීවිත කතාව වගේ. ඇත්තටම ඇහැට කඳුළු ආවා..