කාලෙකට පස්සේ අළුතෙන් මොනවා හරි ලියන්න ඕනේ කියලා හිතුනා... :)
නත්තල එක්කම ආපු දිගම දිග නිවාඩුව හිතේ හැටියට ගතකරන්න පුළුවන් වෙච්ච එක ගැන අප්‍රමාණ සතුටක් තියෙන්නේ.
මතක ඇති කාලෙකින් සැර බීම බොන්න හිතිලා තිබුනේ නෑ. යාළු මිත්‍ර සමාගම් අඩු වුනා. පසුගිය වසර වල සිකුරාදා හවස, සෙනසුරාදා හවස වෙනකම් දවස් ගැන ගැන ක්ලබ් එකේ එක මාක් කරන්න බලාගෙන හිටපු මම ගෙවීගිය අවුරුද්දේ ක්ලබ් ජීවිතයෙන් ඈත්ම වෙලා ගියා. (ඒ විතරක් නෙමෙයි කන්නයි බොන්නයි විතරක්ම එකතුවෙන බොහෝ යාළුවන්ගේ බිල් ගෙවන එකත් එපා වෙලාම තිබ්බේ.) වෙනදා හවස් වෙද්දි යාළුවෝ එකතු වුනාම එක පාරට එන බීමේ ආසාව ගෙවීගිය වසරේදි සීග්‍රයෙන් වෙනස් ඉමකට ගියා. ගෙවුන ජීවිතයේ අර්ථවත්ම බීම වුනේ මල්, පළතුරු,පැලෑටි හා ඒකී නොකී වර්ගයේ තේ. එහෙම කියලා බීමේ විඳීම පොඩ්ඩක්වත් අඩු වුනේ නෑ. වෙනදටත් වඩා යාළුවෝ එක්ක කතා කරන්න පැය ගණන් ඉමක් කොනක් නැති මතක එක්ක ගැවසෙන්න හැකි වුනා. වෙනදා සැන්ච්විච් එකක් කන්නත් කොරෝනා එකක් හරි වයින් වීදුරුවක් නැතිව බැරි බැරියාවෙන් හිටපු මා විදේශගත නොවූ හැමවෙලේකම හිස්වෙන කෝප්පෙන් කෝප්පෙට තේ බීවා. (අමුතුවෙන් මත් වෙන්න හේතු නැතිව මත්වෙලාම ඉන්න පුළුවන් වුනේත් මේ බීම හින්දාමයි. )
නත්තල එක්ක එන නිවාඩුව අවුරුද්දේ බොහෝ කර්කශ මතක අළු කරන්න හිතාගත්තේ නත්තලේ හුළඟත් එක්කමයි. නත්තල වෙනදාට වඩා හැමෝගේම සාක්කු වලට බර වෙලා කියලා යාළු මිත්‍රයෝ හැමෝටම එකම විදියට දැනෙන හින්දා අනවශ්‍ය වියදම් කපා හරින්න අමුතුවෙන් අපි කාටවත් හිතන්න ඕන වුනේ නෑ. මුලින් හිතුවාටත් වඩා අපි යාළු මිත්‍රයෝ නත්තල සතුටින් ගෙවන්නත් මේ අරපිරිමැසුම් සැළසුම හැංගිලා ආව ඔටුන්නක් වුනා. වෙනදා වගේ දිස්නේ ගහන පිඟන් කෝප්ප වල කෑම බීම නොආවට, පරිසරයේ උශ්ණත්වය අංශක පහටත් වඩා අඩු වෙද්දි ගිණි ගොඩාක් ගහගෙන හැමෝම වටේට ඉඳගෙන එකින් එකට අඩු නොවී පිරවෙන හිස් වෙන රශ්නේ බීම එක්ක වෙනදාටත් වඩා අපි හැමෝම දොඩමළු වුනා කියලා දන්නේ වටෙන් පිටෙන් එලිය වැටීගෙන එනකොටත් අපි හැමෝම උන් හිටි තැන්වලම මුල් ඇදලා ආගිය කතා කියවනකොටයි.
දන්න කියන යාළුවෝ එක්ක ගැවසෙනකොට අවුරුදු පහලොවේ පොඩි එවුන් වගේ නිදහස් කියලා අපි හැමෝටම මතක් වුනේ පහුවෙනිදා හවස නිවෙස් බලා යන්න වුනාමයි. ඊළඟ ප්ලෑන් එක ආවේ එහෙම. 31 වෙනිදාට හැමෝම මුහුද අයිනේ එකතු වෙන්න. ඉස්සර වගේ එකි නොකී දහසක් ප්ලෑන් ආවේ නෑ. පුරුදු විදියටම මස් හා මාළු හදන්න මාත් (මේ දවස් වල එළිමහන් බාබකිව් ගැන ඒ තරම් විශ්වාසයක් තියන්න පුළුවන්කමක් නොතිබුනත් අඩුවක් නැතිවම දේශගුණය ලොකු සහයෝගයක් ලබා දුන්නා.) වයින්, කොක්ටේල් මික්ස්චර් හා කෑම්පින් ආම්පන්න අනිත් යාළුවන්ටත් බාර වුනා.
අවුරුද්දේ අන්තිම දවස වෙද්දි ගෙවුන රටාවෙන් වෙනස් යමක් කරන්න, හිතේ හැටියට මත්වෙන්න නොලියාම දීපු අවසරයක් අවුරුද්දේ අන්තිම දවසට අපි හැමෝටම තියෙනවා. ඒ අවසරය උපරිමයෙන් ප්‍රයෝජනයට ගන්න වෙනදාටත් වඩා ටිකක් විතර උත්සාග ගන්න විතරයි තිබුනේ. ඒ ඒ රට වල ඒ ඒ කාලයන් අනුව ලබන අවුරුද්දට හිත මිතුරන්ට සුභ පතන එක ඇරෙන්න මතක තියාගෙන වගකීමෙන් කරන්න වෙන යමක් තිබුනෙත් නෑ.
පාන්දර එකට,දෙකට, තුනට, හතරට එකින් එක බෝතල් හිස් වෙමින් වීදුරු පිරෙමින් තිබුනාට ඒ වෙද්දි නොදැනෙන තරමට එළිමහන් උෂ්ණත්වයට අපේ ශරිර හැඩගැහිලා තිබුනත් ඒ ගැන අවබෝධයක් අපි කාටවත්ම නොතිබුනා කියලා නම් විශ්වාසයි. අන්තිමට ගෙදර එන්න එනකොට තවත් බෝතල් කිහිපයක් ඉතුරු වෙලා තිබුනා. හැමදෙයක්ම 2013 දි අලුතෙන් පටන් ගන්න හිතාගෙන පාන්දරම ගෙදර ඇවිත් හත වෙනකොට නිදාගන්න ගියේ බොහොම සැහැල්ලුවෙන්.

(පිංතූර ගූගල්)


1 comment:
ඔන්න අද තමයි මං ආවේ මේ පැත්තේ..
//හැමදෙයක්ම 2013 දි අලුතෙන් පටන් ගන්න හිතාගෙන පාන්දරම ගෙදර ඇවිත් හත වෙනකොට නිදාගන්න ගියේ බොහොම සැහැල්ලුවෙන්. ///
කී දෙනෙක් මේක කරන්න ඇද්ද...? මහ රෑ 12 ඉඳලා 1 වෙනකම් පත්තු වෙච්ච රතිංඤඤා වලට පිං සිද්ධ වෙන්න මටත් එළි වෙනකම් ඇහැරගෙන ඉන්න සිද්ධ උනා.... මොකද ඊළඟ දවසේ උදේට කිරිබතක් උයාගන්න ඇහැරෙයිද කියලා ෂුවර් නැති නිසා... අන්තිමට මාත් එදා කලේ, මීවිත නොතිබුනත් පළවෙනිද දවල් හොඳට නිදා ගත්ත එක...
Word verification අයින් කළා නම් හොඳයි.. එතකොට කමෙන්ට් කරන්න ලේසියි..
Settings - Posts and Comments - Show Word verification = NO කරලා දාන්න...
Post a Comment