Tuesday, January 1, 2013

Back on Earth .......

                                             

 කාලෙකට පස්සේ අළුතෙන් මොනවා හරි ලියන්න ඕනේ කියලා හිතුනා...    :)


   නත්තල එක්කම ආපු දිගම දිග නිවාඩුව හිතේ හැටියට ගතකරන්න පුළුවන් වෙච්ච එක ගැන අප්‍රමාණ සතුටක් තියෙන්නේ.
 
       මතක ඇති කාලෙකින් සැර බීම බොන්න හිතිලා තිබුනේ නෑ.  යාළු මිත්‍ර සමාගම්  අඩු වුනා. පසුගිය වසර වල සිකුරාදා හවස, සෙනසුරාදා හවස වෙනකම් දවස් ගැන ගැන ක්ලබ් එකේ එක මාක් කරන්න බලාගෙන හිටපු මම ගෙවීගිය අවුරුද්දේ ක්ලබ් ජීවිතයෙන් ඈත්ම වෙලා ගියා. (ඒ විතරක් නෙමෙයි කන්නයි බොන්නයි විතරක්ම එකතුවෙන බොහෝ යාළුවන්ගේ බිල් ගෙවන එකත් එපා වෙලාම තිබ්බේ.) වෙනදා හවස් වෙද්දි යාළුවෝ එකතු වුනාම එක පාරට එන බීමේ ආසාව ගෙවීගිය වසරේදි සීග්‍රයෙන් වෙනස් ඉමකට ගියා. ගෙවුන ජීවිතයේ අර්ථවත්ම බීම වුනේ මල්, පළතුරු,පැලෑටි හා ඒකී නොකී වර්ගයේ තේ. එහෙම කියලා බීමේ විඳීම පොඩ්ඩක්වත් අඩු වුනේ නෑ. වෙනදටත් වඩා යාළුවෝ එක්ක කතා කරන්න පැය ගණන් ඉමක් කොනක් නැති මතක එක්ක ගැවසෙන්න හැකි වුනා. වෙනදා සැන්ච්විච් එකක් කන්නත් කොරෝනා එකක් හරි වයින් වීදුරුවක් නැතිව බැරි බැරියාවෙන් හිටපු මා විදේශගත නොවූ හැමවෙලේකම හිස්වෙන කෝප්පෙන් කෝප්පෙට තේ බීවා. (අමුතුවෙන් මත් වෙන්න හේතු නැතිව මත්වෙලාම ඉන්න පුළුවන් වුනේත් මේ බීම හින්දාමයි. )
                                                                   
        නත්තල එක්ක එන නිවාඩුව අවුරුද්දේ බොහෝ කර්කශ මතක අළු කරන්න හිතාගත්තේ නත්තලේ හුළඟත් එක්කමයි.   නත්තල වෙනදාට වඩා හැමෝගේම සාක්කු වලට බර වෙලා කියලා යාළු මිත්‍රයෝ හැමෝටම එකම විදියට දැනෙන හින්දා  අනවශ්‍ය වියදම් කපා හරින්න අමුතුවෙන් අපි කාටවත් හිතන්න ඕන වුනේ නෑ. මුලින් හිතුවාටත් වඩා අපි යාළු මිත්‍රයෝ නත්තල සතුටින් ගෙවන්නත් මේ අරපිරිමැසුම් සැළසුම හැංගිලා ආව ඔටුන්නක් වුනා. වෙනදා වගේ දිස්නේ ගහන  පිඟන් කෝප්ප වල කෑම බීම නොආවට,  පරිසරයේ උශ්ණත්වය අංශක පහටත් වඩා අඩු වෙද්දි ගිණි ගොඩාක් ගහගෙන හැමෝම වටේට ඉඳගෙන එකින් එකට අඩු නොවී පිරවෙන හිස් වෙන රශ්නේ බීම එක්ක වෙනදාටත් වඩා අපි හැමෝම දොඩමළු වුනා කියලා දන්නේ වටෙන් පිටෙන් එලිය වැටීගෙන එනකොටත් අපි හැමෝම උන් හිටි තැන්වලම මුල් ඇදලා ආගිය කතා කියවනකොටයි.

      දන්න කියන යාළුවෝ එක්ක ගැවසෙනකොට අවුරුදු පහලොවේ පොඩි එවුන් වගේ නිදහස් කියලා අපි හැමෝටම මතක් වුනේ පහුවෙනිදා හවස නිවෙස් බලා යන්න වුනාමයි. ඊළඟ ප්ලෑන් එක ආවේ එහෙම. 31 වෙනිදාට හැමෝම  මුහුද අයිනේ එකතු වෙන්න. ඉස්සර වගේ එකි නොකී දහසක් ප්ලෑන් ආවේ නෑ. පුරුදු විදියටම  මස් හා මාළු හදන්න මාත්  (මේ දවස් වල එළිමහන් බාබකිව් ගැන ඒ තරම් විශ්වාසයක් තියන්න පුළුවන්කමක් නොතිබුනත් අඩුවක් නැතිවම දේශගුණය ලොකු සහයෝගයක් ලබා දුන්නා.) වයින්, කොක්ටේල් මික්ස්චර් හා කෑම්පින් ආම්පන්න අනිත් යාළුවන්ටත් බාර වුනා.


        අවුරුද්දේ අන්තිම දවස වෙද්දි ගෙවුන රටාවෙන් වෙනස් යමක් කරන්න, හිතේ හැටියට මත්වෙන්න නොලියාම දීපු අවසරයක් අවුරුද්දේ අන්තිම දවසට අපි හැමෝටම තියෙනවා. ඒ අවසරය උපරිමයෙන් ප්‍රයෝජනයට ගන්න වෙනදාටත් වඩා ටිකක් විතර උත්සාග ගන්න විතරයි තිබුනේ. ඒ ඒ රට වල ඒ ඒ කාලයන් අනුව ලබන අවුරුද්දට හිත මිතුරන්ට සුභ පතන එක ඇරෙන්න මතක තියාගෙන වගකීමෙන් කරන්න වෙන යමක් තිබුනෙත් නෑ.

       පාන්දර එකට,දෙකට, තුනට, හතරට එකින් එක බෝතල් හිස් වෙමින් වීදුරු පිරෙමින් තිබුනාට ඒ වෙද්දි නොදැනෙන තරමට එළිමහන් උෂ්ණත්වයට අපේ ශරිර හැඩගැහිලා තිබුනත් ඒ ගැන අවබෝධයක් අපි කාටවත්ම නොතිබුනා කියලා නම් විශ්වාසයි. අන්තිමට  ගෙදර එන්න එනකොට තවත් බෝතල් කිහිපයක් ඉතුරු වෙලා තිබුනා.   හැමදෙයක්ම 2013 දි අලුතෙන් පටන් ගන්න හිතාගෙන පාන්දරම ගෙදර ඇවිත් හත වෙනකොට නිදාගන්න ගියේ බොහොම සැහැල්ලුවෙන්.
 
                                   
        
 (පිංතූර ගූගල්)
        

Thursday, July 19, 2012

සතුටයි සතුටයි මේ බෝ වෙන්නේ .............!



  දරා ගන්න බැරි ප්‍රශ්න ආවම අවුල් වෙන එක මට අමුතු දෙයක් නෙමෙයි. 


 මේ දවස් ගෙවුනේ හරියට මගේ ජීවිතේ නෙවෙයි වගේ.


    ඒත් හැමදාම එහෙම නෑ.
        හිටි ගමන් අපේ මූඩ් මාරු කරන්න පුළුවන් තරු තියෙනවා. පසුගිය කාලෙදි බොහොම අහම්බෙන් මට එහෙම තරුවක් දකින්න පුළුවන් වුනා. ඔව් ඒ නම් පණ තියෙන තරුවක්......

      ඊයේ දවල් වරුවේ ආත්ම ගාණක් තිස්සේ බලාගෙන හිටපු කෝල් එකක් ආවා. වචන ගොඩාක් නාස්ති වුනේ නෑ. පාක් එකක අත් අල්ලගෙන ඇවිදගෙන යන්න වගේම ඩිනර් ඉන්වයිට් එකකුත්.

      හවස් වෙලා වැඩ ඉවර වෙලා ගෙදර එන ගමන් මතක් වුනේ ගෙදර එනවට වඩා ඒ මොහොතේ විඳීම් එක්ක අතරමං වෙන්න මට හැකියාවක් ඇත්තේම නැද්ද කියලා. මටත් කලින් මගේ මොබයිල් එක ඉක්මන් වෙලා මම එන්නම් කියලා ටෙක්ස්ට් එකක් යනකොටම එහා පැත්තෙන් ආවේ පිළිතුරු ටෙක්ස්ට් එකක් නෙමෙයි. තරු දාහකටත් වඩා එහා ගියපු ආලෝකයක් එක්ක රිප්ලයි කෝල් එකක්.

     අන්තිමට කෑම රස කෙසේ වෙතත් රසම රස කම්පැනී එකක් එක්ක වචන ගලාගෙන ගියා. එහෙ මෙහේ බැලීම් හුවමාරු වුනා. වචනෙන් වචනයට කියන දේවල් දෝංකාර දෙන්න පටන් ගත්තා. මට හිතන්න විතරයි තිබුනේ ඒ පමාවෙන් ඒවා ඉටු වුනා.


      අන්තිමට කෑම කාලා ගෙදර එන්න  වෙද්දි මට හිතුනේ එක්කෝ මේ මොහොත විඳින්න එහෙම නැත්නම් කවදාවත් නෑ කියලා. ඔහුගේ ආරාධනාව අහක දාන්න හැකියාවක් නැතිව මම උඩ බිම බැලුවා විතරමයි. මගේ යටි හිත එක්ක සටන් කරලා දින්න මට කවදාවත් බෑ, එක එල්ලේම ඇස් එක්ක ගණුදෙණු කරපු අපිට ඒකෙන් මිදෙන්න උවමනාවක් තිබුනේම නෑ,
 

     බියර් කිහිපයක් එක්ක උඩම තට්ටුවක බැල්කනි එකක ඔහුත් එක්ක තනි වුනාමයි තේරුනේ කොයි තරම් දේවල් අපි විසින් බලෙන්ම අමතක කරනවද කියලා. ඒ හැඟීම ගෙනාව වෘක්ශ පත්‍ර හොයා ගත්තු එකාට පින් දෙන්නම ඕනේ. මට හිතන්න විතරයි තිබුනේ කලින් කීවා වගේම. හිතන පමාවෙන් මගේ ඩෙසයර්ස් ඉටු වෙලා... හරියටම හීනයක වගේ...
           අපිට එලියේ රශ්නෙයි කියලා තේරුනේ පාන්දර දෙකට විතර. වෘක්ශ වන්දනාමාන කරන අය දන්නවා ඇතිනේ ඒ හැඟීම. එතකොට ආපහු සාලේ සෙටියට ඇවිත් ඒ සී එකත් ඕන් කරගෙන අපේ ගණුදෙණුව. පැය කීයක් ගෙවුනාද දන්නේ නෑ. ඒත් අපේ බැලුම් වලින් හැඟීම් වලින් ස්පර්ශ වලින් අපි අපේ වෙලා. හරියටම සුරංගනා කතාවක වගේ.
        අන්තිමට මට මතක උදේට මොනවද බොන්නේ කියලා අහනවා විතරමයි. ඉන් එහාට අපි කතා කලේ ඇස් වලින් . (ඇස් වහගෙන ඔහුත් එක්ක එලිවෙනකල් කියවන්න දේවල් කොහෙන් ආවද මන්දා... )
   කොහොමත් අපි නිදාගත්තේ නෑ. එහා පැත්තෙන් අපේ වගකීම් එක්ක තියෙන සැබෑ ජීවිතේ මතක් වෙලා දුකින් වුනත් ඔහුගෙන් ඈත් වෙලා නාන කාමරයට දිව්වේ පරක්කු වුනොත් අදවත් වැඩ ඉවර කරගන්න වෙන එකක් නෑ කියලා හිතලමයි.
   ආපහු ඇඳට එන්න ආවේ තව මොහොතක්වත් ඒ හැඟීම දැනෙනවා නම් කියලා හිතාගෙනමයි...
   
 මෙන්න ඇඳ උඩ කෝපි දෙකක්. එහා පැත්තෙන් ආදරෙන් මා දිහා බලා ඉන්න ජීවමාන ඔහු.... ගාණට සීනි එක්ක ආපු කෝපි එක  හරියටම ඔහු මා ගැන කාලයක්ම දැනන් ඉඳලා වගේ....


 ඔව් ඒක ආත්මගත බැදීමක් වෙන්න ඕනේ...

 

Sunday, May 27, 2012

Double single malt please.........


   රතුම රතු පාට හොඳට සේදුව චෙරි පිඟානකුත් රතු  පාට ස්ටෝබෙරි තේ එකකුත් මගේ මේසේ උඩ.

      හරියටම ඒ දවස් වල වගේ...........
 
        ඔබයි මමයි ඈත් වුනාම මම රතු රෝස වලට වගේම රතුම රතු පාට පැණි බේරෙන චෙරි වලිනුත් රෑට නිදා ගන්න ඉස්සෙල්ල බොන්න පුරුදු වෙලා හිටපු තේ එකෙනුත් ඈත් වුනා. 

       හරියට ඔයයි මායි ඈත් වුනාම අපේ පුරුදු බෙදා ගැනීම් එක්ක මම අවුල් වෙන එක නතර කරගන්න මම මටම තහංචි දාගත්තා. ඒ වෙනුවට අපි එකට නොකලයි කියල හිතිච්ච ඕනෙම දෙයක් එක්ක සමීප වුනා. හිටි ගමන් බාර් ගානේ ගිහින් සිහිය විකල් වෙනකම්ම මොජීටෝ බොන්න, ජින් ටොනික් බොන්න මම පුරුදු වුනේ ඊට පස්සේ. ඊට පස්සේ හීගඩු පිපෙන සීතලේ පට්ට පාන්දර එලියට එමින් සිගරට් එකක් උරණ ගමන් දුම් පාවෙන හැටි බලන්නත් ඊට පස්සේ බයික් එක ක්ලබ් එක අයිනේම දාලා හිම වැටෙන සීතලේ යාළුවන්ගේ අත් අල්ලගෙන ගෙදර එන්නත් හිටි ගමන් මගේ එකට බීපු යාළුවන් එක්ක වලි දාගන්නත් පුරුදු වුනා.  මේ දේවල් අස්සේ කාටවත් නොතේරෙන හීනි සතුටක් මට දැනුනා. ඔව් මට ඕන වුනේ ඔයා අකැමති හැමදේම කරලා ඔයාට රිදවන්න. සමහර දවස් වල රෑට බයික් එක පාක් කරපු තැන හොයා ගන්න බැරි උනාම මම කෝල් කලෙත් ඔයාට. ඒක උනේ ඉබේම එතකොට ඔයා දැනගත්තා මම හොඳටම බීලා කෙලින් හිට ගන්න බෑ කියලා. එහා පැත්තෙන් ඇහෙන මොනවටද ඔහොම විනාශ වෙන්න හදන්නේ මගෙන් ඔය විදියට පලිගන්න ඔයා කොහොමද හුරු වුනේ කියලා ඇහෙන කොටත් මට දැනුනේ පට්ට සතුටක්..... .

       ඊයේ රෑ යාළුවෙක් එක්ක එලිවෙනකම් වැඩ කරලා දවල් නිදා ගත්තේ මහන්සියටත් වඩා ගණන් හදලායි කොම්පියුටර් ස්ක්‍රීන් එකක් දිහා මූණ ඔබා ගෙන ඉඳලා දැනිච්ච තෙහෙට්ටුවයි එක්ක.
 
     ඔයාට කොහොමත් මට කතා කරන්න මතක් වෙන්නෙ ඒ වගේ වෙලාවට.
 

  ඇත්තෙන්ම හීනයක් අස්සේ හිටපු මා ඔබගේ කතාවෙනුත් හීනයක්ම කියලා හිතලා.
  ඔයා හයියෙන් හිනා වෙනවා ඇහුනාමයි මට මතක් වුනේ ඔයා ෆෝන් එකෙන් එහා පැත්තේ ඉන්නේ කියලා.
 මට ඒක තේරෙද්දි වෙන්න ඕන හරිය වෙලා ඉවරයි.

   මම හෙට එනවා එයාෆෝට්.  එන්න පුළුවන්ද කියලා අහද්දිම බෑ කියන්න තරම් මගේ හිත හිතුවක්කාර වුනේ නෑ. කොහොමත් මගේ හිත දඩබ්බර වෙන්නේ හැමදාම ඔයාට විතරක් ඕන විදියට හැඩ ගැහිලා.  මම හෙට සපත්තු ගන්න ඕනේ අර අපි ඉස්සර ගිය තැනට කියලා ඔයාත් එහෙට එන්න අපි එහෙදි හමුවෙමු කිවුවේ සැබෑ සිහියෙන් නම් වෙන්නම බෑ.
     හෙට අපි අවුරුදු පහලොවකට විතර පස්සේ ආපහු අපේ මතක පාරේ හමු වෙනවා.

  මේ හැමදෙයක්ම උනේ නින්දෙන් නිසා ආපහු හිතන්න දෙයක් නෑ. වචන වෙනස් කරන්න ඔබ ඉස්සරහා හිතුවක්කාර වෙන්න මට කවදාවත් බෑ.

   ඒත් මේක මහ බරක්.......

 

          හවස දුවන්න ගියාම පාක් එක පුරාවටත් මට පෙනුනේ ඔයාව පරණ මතක අස්සේ හමු උනාම කොයි තරම් දේවල් මාව අවුල් කරයිද කියලා....
  මගේ යාළුවෙක් රතු රෝස් මල් වගයක් ගත්තා පාක් එකෙන් එලියට එන ගමන්.....
 ඒක තමයි මම හිතන්නේ ආපහු මට දරා ගන්න බැරි වුනේ...
     මහා රෑ පාන්දර කීයට ගෙදර ආවත් ඉස්සර ඔයා රෝස මලක් අරන් එන්න පුරුදු වෙලා හිටියා.
  ජීවිතේ රතුම රතු පාට රෝස මල් පිපුන කාලේ.... ඔව් ඒ කාලේ ඔයා මගේ හැම හීනකම හිටියේ මොහොතකටවත් වෙනස් නොවී....
  ඒත් අද ඒ හීන එකක්වත් මට නෑ. ඒ හීන වල හිටියේ ඔයාමයි කියලා කාලෙකින්ම මම හිතලා නෑ. ඒත් ඉස්සර වගේම මම ඔයාට ආදරෙයි. ඒ ඔයා මගේ කර ගන්න නෙමෙයි. මම ඔයාට ආදරේ හින්දා........ ඔයා මට ආදරේ හින්දා.... ඒක කොහොම කාටවත් විග්‍රහ කරන්න පුළුවන් ආදරයක් නෙමෙයි.....ඒත් ඒක පෙරුම් පුරාගෙන ආපු දෙන්නෙක්ගේ ආදර කතාවක්......

  අන්තිමට පාක් එකෙන් එලියට ආව ගමන් මාගේ යාළුවෙකුටත් නොදැනෙන්න මගේ දෙපා ඇදුනේ ක්ලබ් එකට.....

 "ඩබල් සින්ගල් මෝල්ට් ඔන් රොක්ස්......."

 "සම්තින් ටු බයිට්? "

"................. නෝ මෙන් ජස්ට් වන් මෝ ඩබල් සින්ගල් මෝල්ට් "

 ගෙදර ආවේ බඹරා වගේ.... එමින් ගමන් සිගරට් නිවුනා පත්තු වුනා....

ආව ගමන්ම චෙරි බේසමක්ම හෝදගත්තා.......    තේ එකක් හදා ගත්තා.....

  වෙනදා වගේ ඒක බෙදා ගන්න ඔයා විතරයි අඩු.....

 ඒත් ඔයා මෙතුවක් මගේ අස්සේ ජීවත් වෙනවා කියලා නොදැන හිටිය එක ගැන දුකකටත් වඩා දරා ගන්න බැරි යම් කිසි දෙයක් හිර වෙලා...............!!!!!!!!!!


 

       

   
     

 

Sunday, November 27, 2011

ඇයි මම විතරක්

ගෙවුන දවස් හරියට මගේ නෙමෙයි වගේ. ඇත්තටම ඒ කිසිම තැනක මම හිටියේ නෑ,

 මම අමාරුවෙන් පයින් ගහලා ඈතට විසිකරපු දෙයක් මගේ ජීවිතේට බලෙන් ඇතුල් වෙලා කියලා ගෙවුන සති කිහිපයේම මට හිතුනා. කොයි තරම් ඒ සීමාවන් වලින් එහාට යන්න ඕනේ කියලා හිතුනත් හරියට කෝල්ලෑ ගෑවිලා වගේ මම ඒ වෙත ඇදිලම හිටියා.

  වෙනදා විදිහටම ඔහු කතා කරද්දි ඇයි අපිට අපේ වෙන්න බැරි හිතමින් අසරණ වුනාට මටවත් ඔහුටවත් කවදාවත් ඒක අපිට කියාගන්න බෑ. ඒත් වෙනදාට වඩා යම් පමණකට අපි අපේ වීමේ අඩුව අපේ ජීවිත වලට බලපානවා කියලා දැනෙද්දි වෙනදා තරම් නොවුනත් අහංකාරකමින් ඒ මම නෙමෙයි කියලා හිතලා මගෙන් හැන්ගෙන්න මට තියෙන උවමනාව ඔබට නැති හැටි.

   ඒ අස්සේ අපේ ජීවිත වලට එහෙන් මෙහෙන් ලං වෙලා ඉන්න අය තවත් අපිව අසරණ කරනවා. හරියට ආදරය කඩෙන් ගන්න හදනවා වගේ. මේ ඔක්කොම එකට සිද්ද වෙද්දි හරියට වතුර බහින්නේ පොලොවේ පහත් තැනකින් වගේ අපි ඉස්සෙල්ලම හැරෙන්නේ අපිට ළඟින් ඉන්න උත්සාහ කරන අයට. ඒත් ඒ අයට දෙන්න ආදරයක් නැති වුනාම ඒක බොහෝ වෙලාවට පිට වෙන්නේ හොඳම ක්‍රමයට නෙමෙයි. සමහර වෙලාවට ඒ පුද්ගලයාට ඕන වෙනවා ඇත්තේ අපේ ළඟට වෙලා දුක සතුට බෙදාගන්න. ආදරයක්ම නොවුනත් හිතවත්කමක්වත්. ඒත් අපි අවුල් වුනාම ඔය දේවල් අපිට තේරෙන්නේ ගොඩාක් පහු වෙලා. එතකොට රිදවගන්න පුළුවන් හැම තැනක්ම ඕනෙවට වඩා රිදිලා.

  වෙනදා විදියටම ඒ ආදරේ මතක් වෙද්දි ඒ පැත්තෙනුත් ඒ අඩුවම හොයනවා කියලා දැනෙද්දි යාළුවෝ කියලා අපිටම හොරෙන් අපිව හංගගෙන ඉන්න අපි උඩට එන්නේ වතුර යට දාපු පුම්බපු බැලුම් බෝල වගේ. ඇයි මේ හැම දෙයක්ම මේ තරම් කම්ප්ලෙක්ස් වුනේ....?

Monday, October 24, 2011

හිත හොඳටෝම රිදුනම......!

      අද හදිස්සියකට මම යාළුවෙක්ගේ ගෙදරට කෝල් එකක් ගත්තා. එයාගේ මොබයිල් එකත් ඕෆ් නිසා එයා අද ගෙදරත් කීව නිසා  මම ගෙදරට කතා කලේ.
     එහා පැත්තේ ෆෝන් එකෙන් ආවේ පිරිමි කටහඬක්. එහෙම එහෙන් කතා කරන්නේ මගේ යාළුවගේ තාත්තා විතරක් නිසා මම සුපුරුදු විදිහටම අන්කල් කියලා මගේ යාළුවා ගෙදරද කියලා ඇහුවා. එහා පැත්තෙන් බොහෝම විනීත විදියට එයා ගෙදර නැති බවත් කවුද මේ  ඇහුවාම  මගේ නම කියලා ෆෝන් එක කට් කලා. මේ කටහඬ මට හොඳට හුරු පුරුදු බවක් නම් මට දැනුනා. කොහොමත් බොහෝ දේවල් එක්ක දීර්ගකාලින මතකයක් තියෙන කෙනෙක් මම.

    එවෙලේ අහවලා තමයි කතා කලේ කියලා හිතලා සුපුරුදු විදියට මගේ වැඩ කරගෙන හිටියා. ටිකකින් මගේ යහළුවාගෙන් ආව කෝල් එකට උත්තර දෙන ගමන් කවුද කලින් කතා කලේ ඇහුවම එයා කියපු ලොකු දිග විස්තරයත් එක්ක මට හිනාවක් ගියා.  අපි අපේ යාළුවන්ව නිදහස් කරන්න ඕන තරම් දේවල් කරනවානේ. ඒ වුනාට ඉතින් මම කවුද කියලා දන්න කෙනෙක් කියලා මම එයා ගැන හිතන නිසා එයාට එහෙම මට බොරුවක් කියන්න උවමනා වෙන්නේ නෑ. ඒත් ඇත්තෙන්ම එහෙම වුනා. ඒක ගැන හිතුවම හරියට තමන් ආදරයෙන්ම සලකන කෙනෙක්ගේ එහෙම වචන ටිකක් (කිසිම තේරුමක් නැති බොරුවක් ) ඇහුවම දුක හිතෙනවා වැඩියි. කොටින්ම මගේ යහළුවාගේ යාළුකම් එක්ක මට ප්‍රශ්න නෑ. ඒකත් එයා හොඳින්ම දන්නවා කියා මා මෙතුවක් හිතා හිටියේ.
  

    අර ෆෝන් එකෙන් කතා කරපු කෙනා මගේ ජීවිතේට ඇතුල් වුනේ අහම්බෙන්. ඒ වගේම මට  මගේ යාළුවෙක්ගෙන් සිදුනොවුන තරම් කළු පැල්ලමක් තියලා එයා මගෙන් ඈත් වුනා. ඒකට කිසිම ප්‍රශ්නයක් නෑ. ඒත් එයා මගේ මනුස්සකම එක්ක එහේ මෙහේ කියලා තිබ්බ කතාවන් එක්ක මම සෑහෙන්න දුක් වුනා. අඬලත් ඇති. තමන් කවුද කියලාවත් නොදන්න මේ මිනිස්සු ගැන ආදරෙන් හිතුවම එහෙම වෙනවා කියලා මම ඉගෙන ගත්තා එච්චරයි.

 එයාට ලැජ්ජා හිතෙන්න ඇති ඒ ඔහු කියලා කියන්න.  ලොකු මිනිස්සුනේ. (අනික අමාරුවෙන් ඈත් කරගන්න හදන මම වගේ කෙනෙක්.  තමන් ගැන ඕවර් එස්ටිමේට් හිතන කොට එහෙම වෙනවානේ.) එයා නැති වුනාම කවුරුත් මට නෑ  කියලා හිතන් ඉන්න හින්දා අවනම්බුවක් වෙන්න ඇති මට ඒ අයව හඳුන්වා දෙන්න.
    ජීවිතේ ආපහු මුලට ගිහින් හැරෙන්න පුළුවන් නම් මේ වගේ වැරදි මම මට කරගන්න එකක් නෑ. කොහෙවත් ඉන්න මිනිස්කමක් දන්නේ නැති අය ළඟට අරන් ඒ මිනිස්සුන්ගේ මේ වගේ දෙයක්වත් දරාගන්න බැරි වෙලා අඬන මම වගේ මෝඩයෙක්.  මටම ඔළුවට ගහගන්නවා ඇරෙන්න වෙන කලයුතු දෙයක් නෑ.

       

     (image)

Wednesday, September 21, 2011

සුභ පැතුමක්.......

   අද උදේ ආව කෝල් එකක් හින්දා එක පාරටම ආව හැඟීම නම් අතරමං වුනා වගේ දැනුන එක මම හිතන්නේ.  
         
   ෆෝන් එකේ එහා පැත්තේ හිටියේ එක්තරා කාලයක මටත් වඩා මම ගැන හිතපු කෙනෙක්. ඒත් මොන හේතුවකටද මන්දා මට කවමදාවත් එහෙම හිතුනේ නෑ කියලා තමයි මට අදටත් හිතෙන්නේ. ඒකෙන් කියන්නේ මට මේ කියන කෙනා ගැන කිසිම හැඟීමක් තිබ්බේ නෑ කියන එක නම් නෙමෙයි. මොන හේතුවකටද මන්දා මම ආදරයම නොවුනත්  බැඳීමක් තිබුනා. ඒත් ඒක අස්සේ මේ කියන කෙනාව මගේ කර ගන්න වගේ දෙයක් මට දැනුනේ නෑ කවදාවත්. සමහරවිට මම නොහිතපු විදිහට මේ කියන කෙනා මගේ ළඟ හිටපු නිසා වෙන්න ඕනේ. යාළුවෝ විදියට කාලයක් දැන හඳුනගෙන හිටපු අපි එක්තරා කාලයකදි ඉන් එහාට ගියා. මේ කිසිම දෙයක් තේරුමක් ඇතිව නොවූ දේවල් කියලායි මට හැමදාම හිතුනේ. කොටින්ම අපි එකම ගෙදර ජීවත් වුනත් ඔහු මගේමයි කියලා මට කවමදාවත් හිතිලා තිබ්බේ නෑ. ඒත් ප්‍රශ්න නැතිව සතුටින් ජීවත් වුන බවක් තමයි මට හිතෙන්නේ .

  පස්සේ කාලයක  අපි ඈත් වුනා. සමහර විට කිසිම කෙනෙක් මඟේ ළඟ බැගෑපත් නොවූ ලෙස ඔහු මගෙන් ඈත් වෙන්න බෑ කියද්දි මට  ඔහු ගැන අනුකම්පාවක්වත් දැනුනේ නෑ වෙන්න ඕනේ. ඒවෙලේ මට ඕන වුනේ ඒ බැඳීම් වලින් ඈත් වෙලා මගේ ලෝකේ හොයාගෙන යන්න. සමහරවිට ඒ වෙද්දි අපි වෙන් විය යුතුයි කියන තැනම මම හිටියා. ඒක එක්තරා තීරණාත්මක අවශ්තාවක් කීවොත් මම හිතන්නේ මම හරි. කාගෙවත් හිත් රිදවන්න උවමනා නොවුනාට එහෙම නොවී ඉස්සරහට යන්න අපිට බැරි උනා. කොහොම හරි අපි වෙන් උනා.
    ඉන් එහාට කවදාවත් මගේ යාළුවෙක් වෙන්න ඔහුට බැරි වුනා. මුල් කාලේ ඔහු නිතරම මට කතා කලා. සමහරවෙලාවට උත්තර දෙන්න පුළුවන්කමක්වත් නොවුනට මට ඒ වෙද්දිත් ඔහු ගැන යම්කිසි ප්‍රමාණයක් දුකක් අනුකම්පාවක් මම ගැනම ලැජ්ජාවක් වගේ දෙයක් මගේ හිතේ තිබුනා. මොන දේ උනත් මම ඔහුගේ ආදරය එක්ක සෙල්ලම් කල බවක් මට හිතුනේ. ඒ වරදින් අදටත් මට ගැලවෙන්න බෑ. ඒත් මොන හේතුවකට හරි ඒක ගැන මම අදටත් දුක් වෙන්නේ නෑ. මම හිතන්නේ ඒ අපි කවදාවත් නොගැලපුණු දෙන්නෙක් වූ නිසා වෙන්න ඕනේ.
    පස්සේ කාලෙක නත්තලට පාස්කුවට අලුත් අවුරුද්දට සුභ පැතුම් වලට එකිනෙකා හෙව්වත් අපි අතර තිබූ සීතල බව එක්ක කවදාවත් වචනයකින් දෙකකින් එහාට කතා කරන්න බැරි උනා. ඒත් අපි දෙන්නම දන්න කියන යාළුවෝ හිටි නිසා අනෙකා ගැන විස්තර නොදැන හිටියා කියන්න නම් බෑ. පස්සේ කාලෙක ඔහු මට කතා කලේ මම අවුල්ම වෙලා හිටි වෙලාවක. ඇත්තෙන්ම ඒ දවස්වල මට කාත් එක්කවත් කතා කරන්න උවමනාවක්වත් තිබ්බද කියලා මට හිතෙන්නේ නෑ. වසර හයකට පස්සෙ එක පාරට කෙනෙක් කතා කරලා මම දැන් විවාහ වුනා කීවම හිතට එන්නේ මොන හැඟීමද කියන්න හරියටම මට තේරෙන්නේ නෑ. කොහොමත් මට ඔය වගේ බැඳීම් සම්බන්ධතා වගේ දේවල් එක්ක දුරට හිතන්න මම දැන් කැමතිත් නෑ. ඒත් එක පාරට අර ගල් වෙලා තිබුන අපේ යාළුකම් නම් ආයේ අලුත් වෙලා කියලා මට දැනුනා. ඒක ගැන අවංකවම මට සතුටු වෙන්න පුළුවන්. කොහොම වුනත් හිතලා මම වරදක් කලේ නෑ කලින් වුනත් ඒ දේවල් ඒ කාලේ එහෙම වුනා විතරයි මට හිතෙන්නේ.

    
     මට ආදරේ දෙන්න බැරි වුනාට යාළුවෙක් විදියට ඔයාගේ අඩුව මේතාක්ම දැනුනා. ඉස්සරහට නිතර අපි හමු නොවුනත් අඩුම තරමින් මගේ හිතේ නිදහසින් හරි ඔයා ගැන යාළුවෙක් වගේ හිතන්න මට දැන් පුළුවන්. ජීවිතේ අවුල් කලාට සමාව ඉල්ලන්න මට බැරිකමකුත් නෑ.

     එහෙනම්
       සුභ අනාගතයක්

     

   ( ප/ලි.
කවදාවත් මගේ වචන වලින් මම කියන එකකුත් නෑ මේ දේවල්. මම මෙහෙම හරි මේ දේවල් ලියන්න ඇත්තේ මේ දේවල් කවදාවත් කවුරුත්ම නොතේරුම් ගන්න හින්දා විතරක්මත් මට නිදහස් වෙන්නත් විතරක්ම වෙන්න ඕනේ. )